විරෙන්,රටක් හිතන්න ඕනි කෙනෙක් බව සහතික කළ තරගාවලියේ වැඩි දස්කම් ජපානයෙන් සහ ඉන්දුනීසියාවෙන්

 විරෙන්,රටක් හිතන්න ඕනි කෙනෙක් බව සහතික කළ තරගාවලියේ වැඩි දස්කම් ජපානයෙන් සහ ඉන්දුනීසියාවෙන්






ගෙවුණු HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලියේ හිමි වුණ එකම ජයග්‍රහණය හිමි වුණේ විරේන් නෙත්තසිංහට යි.ඔහු පිරිමි කේවල අංශයේ ලෝකඩ පදක්කම සමඟ තෙවන ස්ථානය දිනා ගන්නට සමත් වෙනවා.තරගාවලියේ උණුසුමත් සමඟ අවසාන භාගය වන විට තරගාවලියට සාපේක්ෂව කරපු ශ්‍රේණිගත කිරීම් සියල්ල වෙනස් වෙමින් තිබුණා.ලිරිමි කේවල අංශයේදී ද අවසාන හතර දෙනා අතරට පිවිසුණ ක්‍රීඩකයින් ප්‍රධාන ශ්‍රේණිගත කිරීම්වලට අනුව පෙළ ගැසුණු අයගෙන් ඉතුරුව සිටියේ සිව්වැන්නාව සිටි විරේන් සහ සූරතාවය දිනා ගත් මැලේසියාවේ සොලේහ් අයිදිල් පමණයි.ඔහු අංක දෙක ක්‍රීඩකයා හැටියට තරගාවලියට පෙර නම් කර තිබුණා.

අවුරුදු 21 දී මේ තත්ත්වයට බැඩිමින්ටන් ක්‍රීඩකයෙකු පත් කිරීම පහසු නැහැ.ඒ සඳහා විරෙන්ගේ පියා ඇතුළු පවුලේ සැවොමත්,විශෙෂයෙන් ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයට නායකත්වය දෙමින් සිය පෞද්ගලික ධනය පවා ඒ වෙනුවෙන් කැප කරමින් වැඩ කරන රොහාන් ද සිල්වා ගේ දුර දක්නා නුවණත් හේතු වෙනවා.අද වන විට විරේන් මෙන්ම බොහෝ දෙනෙක්ට ජාත්‍යන්තරය විවෘත කරලා තරගාවලි සඳහා සහභාගි වන්නේනම් එයට බැඩ්මින්ටන් පරිපාලනයේ ආශිර්වාදය ලබා දෙමින් කටයුතු කරන නිසා ශ්‍රී ලංකා බැඩිමින්ටන් මේ වන විට රොහාන් ඊට නායකත්වය දීමට සපැමිණි මොහොතට වඩා පියවර ගණනාවක් ඉදිරියට ගොස් තිබෙන බව පැහැදිළියි.

විරෙන් ඒ අතරින් මේ තරගාවලිය ක්‍රීඩා කරපු හැටියෙන් පෙන්වා දුන්නේ දැන් ක්‍රීඩකයෙකු ලෙස පරිණත වී තිබෙන බවයි.අතර මැද සැහැල්ලුවෙන් හුස්ම ගන්න දරන උත්සාහය හැරෙන විට විරේන් අද වන විට කිසිවෙකුට පහසුවෙන් පරාජය කරන්න බැරි හෝ පරාජය කරන්න අපහසු ක්‍රීඩකයෙක්ව ඉදරියට පැමිණ තිබෙන බව සහතිකයි.මේ තත්ත්වය මේ තරගාවලියට පමණක් සීමා වූ එකක් නොවන ඔහුගේ වර්ථමානයේ ක්‍රීඩක ස්වභාවය බව කිව යුතුයි.

විරේන් අවසාන වරට මුහුණ දුන් තරගාවලි හතරම ඉතා හොඳින් දස්කම් දැක් වූ බව කිව යුතුයි.බංගලාදේශ තරගයේදී ඔහු රන් පදක්කමට හිමිකම් කීවා.සිංගප්පූරුව සහ නේපාලයේ මුහුණ දුන් තරග නිමාවට පත් වුණේ අර්ධ අවසාන පූර්ව වටය දක්වා පැමිණයි.අවසාන අට දෙනා අතරට පැමිණීමත් පහසු නැහැ.එසේම මේ මොහොතේ ශ්‍රී ලංකාවේදී ඔහු ලෝකඩ පදක්කමකට හිමි කම් කියනවා.

මේ සියල්ල සමඟ වසර 21 ක් වන විට බැඩිමින්ටන් ක්‍රීඩකයෙක්ට ජාත්‍යන්තර තරග පදක්කම් හතක් තිබෙනවා කියන කාරණය තරමක් දුර්ලභයි.ලංකාව වැනි රටකට මේ ක්‍රීඩකයා රටක් තරමට වටිනවා.සාමාන්‍යයෙන් ලංකාව වැනි ක්‍රීඩා සංස්කෘතියෙන් දුප්පත් රටක සමස්ත ක්‍රීඩාව වෙනුවෙන් විරේන්ව රැකීමට වැඩ පිළිවෙලක් සමඟ විරේන් වෙනුවෙන් ක්‍රීඩාව පොහොසත් කරන දැක්මක් රජයකට තිබිය යුතුයි.එහෙත් මේ වන විටත් බොහෝ දෙනෙක් දන්න කාරණය තමයි රටේ ක්‍රීඩාව භාර ආයතනවලින් මේ තරගාවලියට ලැබුණු කුඩම්මාගේ සැළකිල්ලටත් අඩු නොසළකා හැරීම.

විරේන් සහ කාන්තා සූරිය 17 හැවිරිදි රනිත්මාත් සිටින්නෙ අනාගතයට වැඩි වැඩ කොටසක් අපේක්ෂා කළ හැකි මට්ටමෙන්.එහෙත් ඇයට මේ තරගාවලියෙදි සාර්ථක වන්නට නොහැකි වුණා.සමහවිට කණ්ඩායම කළමණාකරණය කළ දැනුවත් අයට නොහැඟුණාට අපට හිතන හැටියට එය එසේ සිඳුවන්නට විරේන් සහ රනිත්මා මිශ්‍ර යුගල තරගයකට මහන්සි කර වැරදි රිද්මයක රැඳවීමත් බලපාන්නට ඇති.ඒ නිසා මින් ඉදිරියටවත් ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී විරේන් හෝ රනිත්මා එවැනි යුගල තරගවලට යොමු නොකර ඔවුන්ගෙන් රට අපේක්ෂා කරන ගමණ බාධාවකින් තොරව යා හැකි ඉඩ සළසනවානම් වැදගත් වෙයි.

ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් පරිපාලනයට නායකත්වය දෙන රොහාන් ද සිල්වා ප්‍රමුඛ එම නිලධාරි මණ්ඩලය එක්සත්ව එක්සිත්ව රොඳ බැඳ වැඩ කරන නිසා සාර්ථක වූ තරගාවලියක් ලෙස තමයි HUNDRED Sri Lanka International Challenge 2025 හඳුන්වන්න පුළුවන්.එම ශක්තියට ආශිර්වාදයක් වූ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලීය පරිපාලනය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සහය ද සමඟ ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කරන්න හැකි වුණ තරගාවලියේ දී ඒ මොහොතට අදාළව පෙරළිකාර ජයග්‍රහණ ගණනාවක් සිඳු වුණා.

කාන්තා කේවල අංශයේ හැර කිසිඳු තරග අංශයක තරගාවලියට අදාළව අංක එකට නම් කර තිබුණු ක්‍රීඩකයින් හෝ ක්‍රීඩිකාවන් ජය නොගැනීම කැපී පෙණුන සිඳුවීමක් හැටියට හැඳින්විය හැකියි.කාන්තා කේවල අංශයේ දී අංක එකෙ ක්‍රීඩිකාව ලෙස නම කර සිටි ජපානයේ මනාමි ෂුයිෂු ජය ගැනීමට සමත් වූ අතර ඇය සමඟ අවසාන තරගයට පැමිණියේ කාන්තා ප්‍රධාන තරග සැළසුමට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කර සුදුසුකම් ලබා ගත් අදිතා රාඕ වීම විශේෂ සිඳුවීමක් වුණා.

කාන්තා යුගල තරග අංශයෙන් ද ජපාන ක්‍රීඩිකාවන් යුගලයක් වන හිනා ඔසාවා සහ අකාරි සාටෝ ජය ගැනීමට සමත් වුණා.ඔවුන් ඉදිරියේ පරාජයට පත් වුණේ ටිඩපෝන් ක්ලීබ්යීසුන් සහ නැටමෝන් ලයිසුවාන් යන තායිලන්ත ක්‍රීඩිකා යුගලයයි.මිශ්‍ර යුගල සූරයන් වූයේ ඉන්දුනීසියාවේ බොබී සෙතියාබුඩී සහ මෙලාති දයේවා ඔක්ටාවියන්ති යුගලයයි.අනු සූරතාවය ජපානයට හිමි වුණු අතර එහිදී අනු සූරියන් වූයේ යුටා වටනබේ සහ මායා ටගුචි යුගලයයි.

මෙම ක්‍රීඩා තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට එකත් වූයේ දුශ්කර කඳු මාර්ග තරණය කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත් කර දුන්ඓවරස්ට් කන්ද තරණය කිරීමේ භාග්‍යය හිමි කර ගත් ජොහාන් පීරිස් ය.

SOURCE: NMR (Journalist)