පැරදුණු පාට නරක නැහැ

 

පැරදුණු පාට නරක නැහැ




නවසීලන්තයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (මාර්තු 4) සිය පළමු තරගයට සහභාගිවීමට නියමිත අතර ඊට පෙර පැවති පෙර පුහණු තරග අතරින් පළමු තරගය ජය ගත්ත ද,දෙවැනි තරගය පරාජයට පත් වුණා.මේ තරගයේදී ත් ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු,හර්ෂිතා සමරවික්‍රම මෙන්ම නිලක්ෂි සිල්වා ද තරග වැදුණේ නැහැ.

තරගයට පෙර තිබුණු පෙරහුරු තරගවලදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික සංචිතයට එකතු වූ කෝඩුකාරියන් තිදෙනාටම තරග කිරිමේ අවස්ථාව හිමි වුණා.මනුදි නානායක්කාර,චේතනා විමුක්ති සහ රශ්මිකා සෙව්වන්දි මේ ආකාරයට අවස්ථාව ලැබුවා.මනුදි සහ චේතනා තරග දෙකේදීම ක්‍රීඩා කළ අතර රශ්මිකා පරාජයට පත් වූ දෙවන තරගයේදී ක්‍රීඩා කළා.

චේතනා හොඳින් පන්දු යැවිවා.බොහෝ විට ඇයට එය මේ සංචාරයේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාවක් උදා කර දෙන්නට ඉඩ තිබෙනවා.මනුදි තමන්ට ලැබුණු අවස්ථා දෙකේදීම ඒ තේරීම සඳහා ඇය සතුව ඇති ඉහළ සුදුසුකම් කවරේද යන්න පැහැදිළි කරනු ලැබුවා.එු නිසා මනුදි බොහෝ විට හෙට තරගයේදීම ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට අවස්ථාව ලබා ගැනීමට ඉඩ තිබෙනවා.

රශ්මිකා නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සමඟ ශ්‍රී ලංකාවෙන් පිටත පැවති අවුරුදු 19 න් පහළ තරගාවලියේ තුන් ඉරියව්වෙන්ම සාර්ථක වූ ක්‍රීඩිකාවයි.ඒ නිසා ඇයටත් මේ පරිසරය නුපුරුදු එකක් නොවේ.ඇය මුහුණ දුන් පළමු තරගයේදී පන්දු 14 න් ලකුණු 13 ක් ලබා ගන්නට වගේම පන්දු ඕවර් 6 ක් යවා ලකුණු 35 ක් දී කඩුල්ලක් දවා ගන්නටත් සමත් වුණා.

දඟ කැවීමට වඩා වේගයට හැඩ ගැසුණු තණතීරු තුළ බොහෝ විට පිතිකරණයේ හැකියාවද සතු මනුදි සහ රශ්මිකා ගැන කණ්ඩායම තේරීමේ දී කල්පනා කරන්නට ඉඩ තිබෙනවා.එහිදී ශ්‍රී ලංකාව සතුව මේ සංචාරයේ සිටින ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නියක් වන සුගන්ධිකා කුමාරි ට වඩා සචිනි නිසංසලා ගැන කණ්ඩායම තේරීමේ දී වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි සිතිය හැකියි.

නවසීලන්ත මාධ්‍ය අමතමින් චමරි අතපත්තු මනුදි සහ රශ්මිකාගේ පැමිණීම ගැන සතුට ප්‍රකාශ කිරීම මෙන්ම ඇය පැවසූ පරිදි ශ්‍රී ලංකාව සතු ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනී ගේ සෞඛ්‍යමය තත්ත්වය යහපත් නැති වීම නිසා චේතනා ද ක්‍රීඩා කරවීමට ඉඩ තිබෙනවා.කෙසේ වුව හසිනි පෙරේරාගෙන් හිස්ව තිබෙන පෙර පෙළට මනුදිට අවස්ථාව ලැබෙන්නට තිබෙන ඉඩ වැඩි අතර චමරි මාධ්‍ය හමුවේ සිය තරුණ කණ්ඩායම සමඟ මේ තරගාවලිය තුළ ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට අපේක්ෂාවෙන් සිටින බව පෙන්වා දුන්නා.

තරගාවලිය නිල වශයෙන් ආරම්භ කරන්නට පෙර පැවති පුහුණු තරගවලදී මේ වන විට කණ්ඩායම තේරීමේ දි සළකා බලන ලද අලුත් තේරීම් ඊට සාධාරණය ඉෂ්ඨ කරන තිබෙනවා.ඒ නිසා පුහුණු තරග 1-1 ක් ලෙස ජය පරාජය නම් කරන්නට ලැබුණත් කණ්ඩායම් සංයුතිය සකසා ගැනීමේදී ශ්‍රී ලංකාව සතුව තිබෙන අලුත් ආයෝජන ගැන සළකා බැලීමට හැකියි.ඒ අනුව තරගයක් පරාජය වීමට වඩා ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක වර්ධනයට ලබා දුන් දායකත්වය ගැන සතුටට පත් විය හැකියි.ඒ නිසා අලුත් කණ්ඩායමකට වඩා ශ්‍රී ලංකාවට සිය ජාතික කණ්ඩායම දක්ෂතාවලින් අනූනව පවත්වාගෙන යා හැකි පසු පරම්පරාවක් නිර්මාණය වී ඇති බව නව තේරීම් මේ තරග දෙකේදී දැක් වූ දක්ෂතා අනුව පැහැදිළි කර ගත හැකිියි

SOURCE: NMR (Journalist)