ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමේ ගමන නිම වෙයි

බටහිර ආසියා කුසලාන බේස්බෝල් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි බේස්බෝල් කණ්ඩායම පලස්තීන කණ්ඩායම සමග ඊයේ (18 වැනිදා) පැවැති තරගය පරාජයට පත්වීමත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා වූ අවස්ථාව ඔවුනට අහිමි විය.

දෙවැනි තරගය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ජයගැනීමත් සමග ජයග්‍රාහී මානසිකත්වයෙන් පලස්තීනය සමග තරගයට පිවිසි ශ්‍රී ලංකා පිලට එම තරගයෙන් ලකුණු 11-5ක පරාජයක් අත් කරගැනිමට සිදු විය. ඒ සමගින් තමන් සහභාගී වූ තරග 3න් දෙකක පරාජයක් හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම 'ඒ' කාණ්ඩයේ තෙවැනි තැන හිමි කරගත් අතර ඔවුන්ට අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට පැවැති අවස්ථාව ඒ සමගින් අහිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තමන් මුහුණ දුන් ප්‍රථම තරගය ඉන්දියාව හමුවේ ලකුණු 3-2 ක පරාජයක් හිමි කරගත් අතර, දෙවැනි තරග‍යෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 7-6ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය බංග්ලාදේශය සමග හෙට (20) වැනිදා පැවැත්වීමට නියමිතය.