ස
ත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වූයේ ඉතිහාසගත වාර්තාවක් ද තබමිනි.
නවසීලන්ත කණ්ඩායමක් ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. 1988 වසරේ සිට වසර 37ක් පුරා ඉන්දියාවේ සංචාරය කළද, කිසිදු අවස්ථාවක එක්දින තරගාවලියක් ජය ගැනීමට ඔවුන් සමත්ව තිබුණේ නැත.
ඉන්ඩෝර්හිදී පැවැති මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 338ක දැවැන්ත ඉලක්කයක් ඉන්දියාවට ලබා දුන්නේය.
- නවසීලන්ත ඉනිම: ලකුණු 337 (පන්දුවාර 50)
- ඉන්දීය ඉනිම: ලකුණු 296 (පන්දුවාර 46කදී සියලු දෙනා දැවී)
ලකුණු 338ක ඉලක්කය හඹාගිය ඉන්දීය ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 296කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දීය ඉනිම වෙනුවෙන් විරාට් කෝලි විශිෂ්ට සටනක නිරත වෙමින් ලකුණු 124ක් රැස් කළද, අනෙක් අන්තයෙන් ඔහුට නිසි සහයක් නොලැබීම හේතුවෙන් ඉන්දියාවට පරාජය හිමි විය.
නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රිස්ටියන් ක්ලාක් ලකුණු 54කට කඩුලු 3ක් සහ සැක් ෆෝක්ස් ලකුණු 77කට කඩුලු 3ක් බැගින් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූහ.

Social Plugin