ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සුපිරි ජයක්


2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (10) සමත්වුණි.

ඒ, චීන තායිපේ කණ්ඩායම ගෝල 3ට 01ක් ලෙස පරාජය කරමිනි.

මෙහිදී ශ්‍රී ලංකාව දෙවන අර්ධයේ මිනිත්තු 9ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුනි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මෙලෙස ක්‍රීඩා කළේ තමන්ට ස්ථාන 34ක් ඉදිරියෙන් සිටිමින් 166 වැනි ස්ථානයේ පසු වූ චීන තායිපේ කණ්ඩායමට එරෙහිවය.

මෙරට පාපන්දු ලෝලීන්ට තවත් ජයග්‍රාහී තරග නිමාවක් කොළඹ තුරඟ තරග පිටියේ සනිටුහන් කළ මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල වාර්තා කළේ ආදවන් රාජමෝහන්, ඩිලොන් ද සිල්වා සහ වසීම් රාසික් ය.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය ටර්කිමේනිස්තානයට එරෙහිව ඔක්තෝබර් මස 09 වනදා පැවැත්වීමට නියමිතය.