ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ඉන්දියාවට නොයන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත දැනුම් දී තිබේ.
අද (22) පස්වරුවේ ගනු ලැබූ මෙම තීරණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ සහභාගීත්වය පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් මතුව ඇත.
ලෝක කුසලානයට සහභාගී වීම සම්බන්ධයෙන් සිය අවසන් තීරණය දැනුම් දීම සඳහා ICCය විසින් බංග්ලාදේශයට පැය 24ක කාලයක් ලබා දී තිබුණි. ඩකා නුවරදී බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය, ක්‍රීඩකයින් සහ රජයේ ක්‍රීඩා උපදේශකවරයා අතර පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් තීරණය කර ඇත්තේ ඉන්දියාවට නොයෑමේ ස්ථාවරයේ තවදුරටත් රැඳී සිටීමටයි.
මාධ්‍ය හමුවක් අමතමින් BCB සභාපති අමිනුල් ඉස්ලාම් මහතා මෙසේ අදහස් දැක්වීය:
“ගෝලීය ක්‍රීඩා ආයතනයක් ලෙස ICCය මෙවැනි කෙටි කාලසීමාවන් ලබාදීම නොගැළපෙන ක්‍රියාවක්. බංග්ලාදේශය ඉවත් වුවහොත් මිලියන 200කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් ICCයට අහිමි වෙනවා. එය ඔවුන්ට දැඩි මූල්‍ය පාඩුවක් වනු ඇති.”
බංග්ලාදේශය දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තම කණ්ඩායමට හිමි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. ශ්‍රී ලංකාව ‘සම සත්කාරකයෙකු’ ලෙස හැඳින්වීම වැරදි බවත්, මෙය ‘දෙමුහුන් ආකෘතියක්’ (Hybrid Model) යටතේ ක්‍රියාත්මක විය යුතු බවත් BCB සභාපතිවරයා අවධාරණය කළේය.
රජයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් මහතා පවසා සිටියේ ඉන්දියාවට නොයෑමට ගත් තීරණය රජයේ තීරණයක් බවයි.
- “ඉන්දියාවට නොයෑමට රජය තීරණය කර තිබෙනවා. අපිට ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

Social Plugin