තරග පාවාදීමේ චෝදනාවට වරදකරුට ලක්ෂ 240ක දඩයක්


ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ චෝදනාවට වරදකරු වූ දඹුල්ල කණ්ඩායමේ හිමිකරු තමිම් රහ්මාන්ට එරෙහිව කොළඹ මහාධිකරණය ඊයේ (28) සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රත්නතුංග මහතා විසින් විත්තිකරුට වසර හතරක සිරදඬුවමක් නියම කළ අතර, එය වසර 05ක කාලයක් සඳහා අත්හිටුවීමට නියෝග කර තිබේ.

මෙම චෝදනාවට අදාළව අධිකරණය හමුවේ වරද පිළිගත් විත්තිකරුට රුපියල් ලක්ෂ 240 ක දැවැන්ත දඩයක් ද අධිකරණය විසින් නියම කරනු ලැබීය. ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදුවන දූෂිත ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් මෙරට නීතිය යටතේ ලබා දුන් තීරණාත්මක තීන්දුවක් ලෙස මෙය සැලකේ.

මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්තේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා සමඟ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ පවතින ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පෙනී සිටියහ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරමින් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම දඬුවම නියම විය.