2026 ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සාර්ථකව අවසන්


බැඩ්මින්ටන් ක්‍රීඩාව වඩාත් ප්‍රචිලිත කිරීම හා එහි ජීව ගුණය ඔසවා තැබීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” පසුගිය ජනවාරි 24 සහ 25 යන දෙදින පුරා කොළඹ රාජකීය විද්‍යාලයීය බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම මෙරට ක්‍රීඩා ඉතිහාසය වර්ණවත් කළ හිටපු ජාතික ශූරයන් රැසකගේ සජීවී සහභාගීත්වය මෙම තරගාවලියේ කැපී පෙනෙන ලක්ෂණයක් විය.

මෙම සුවිශේෂී ශූරතාවලිය සඳහා 18 වතාවක් ජාතික ශූරයා වූ ප්‍රවීණ ක්‍රීඩක නිලුක කරුණාරත්න මෙන්ම හිටපු ජාතික ශූරයන් වන නිරෝෂන් විජේකෝන්, කුසාලි දිසානායක සහ දුමින්ද ජයකොඩි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ. තරගාවලිය වයස් කාණ්ඩ මත පදනම් වූ ද්විත්ව අංශ රැසක් යටතේ පැවැත්වුණු අතර, ඒ යටතේ 35ට වැඩි, 40ට වැඩි, 45ට වැඩි, 50ට වැඩි සහ 55ට වැඩි යන කාණ්ඩ මෙන්ම කොම්බයින් 90+, 100+ සහ මිශ්‍ර ද්විත්ව ඇතුළු බහුවිධ අංශයන් හරහා උණුසුම් තරගකාරීත්වයක් දැකගත හැකි විය.

මෙහිදී පැවති 35ට වැඩි කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට නිලුක කරුණාරත්න සහ චරිත් විජේනායක යුගලය සමත් වූ අතර, එහි අනුශූරතාවය ඉරේෂ් ද සිල්වා සහ ඉමන්ධ නිමල්චන්ද්‍ර යුගලය විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම 40ට වැඩි කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට ද නිලුක කරුණාරත්න සහ රන්දික පීරිස් යුගලය සමත් වූ අතර, එහි දෙවන ස්ථානය තනුජ ලියනගේ සහ සුසිල් කරුණාරත්න යුගලය විසින් දිනා ගනු ලැබීය.

තරගාවලියේ 55ට වැඩි කාණ්ඩයේ ශූරතාවය ක්ලැරන්ස් හෝම්ස් සහ දුමින්ද සෝමනායක යුගලය විසින් දිනාගත් අතර, කොම්බයින් 100+ කාණ්ඩයේ ශූරතාවය රොෂාන් පද්මකුමාර සහ රොහාන් ප්‍රනාන්දු යුගලය සතු විය. මීට අමතරව බෙහෙවින් උණුසුම් මුහුණුවරක් ගත් මිශ්‍ර ද්විත්ව අංශයේ ශූරතාවය දිනා ගැනීමට දුමින්ද ජයකොඩි සහ ප්‍රියංකා අබේරත්න යුගලය සමත් වීම ද විශේෂත්වයකි.