හොංකොං සික්සස් හෙට ඇරඹේ: ශූරතාව සඳහා ශ්‍රී ලංකාවෙන් සැලසුමක්


හොංකොංහි මොන්ග් කොක් ක්‍රීඩාංගණයේදී හෙට (7) සිට ආරම්භ වන හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් (Hong Kong International Sixes) ක්‍රිකට් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන අතර, පසුගිය වසරේ දිනාගත් ශූරතාවය තවදුරටත් රැකගැනීම තම ප්‍රධාන අරමුණ බව නායක ළහිරු මධුසංඛ පවසයි.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ, "ගිය වසරේදී අපේ ක්‍රීඩකයන් පිළිබඳව අනෙක් රටවලට විශේෂ අවබෝධයක් තිබුණේ නෑ. දැන් ඔවුන් අපිව අධ්‍යයනය කරලා තියෙනවා. ඒක තමයි මේවර තරගාවලියේදී අපට තියෙන අභියෝගය," යනුවෙනි.

මෙවර තරගාවලියට සචිත ජයතිලක නම් නවක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින අතර, ඔහුගේ විවිධාංගී ක්‍රීඩා දක්ෂතාවය කණ්ඩායමට විශාල වාසියක් වන බව නායක මධුසංඛ පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරනු ඇති අතර, එම කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය සහ හොංකොං චීනය යි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ මූලික වටයේ තරග හෙට පෙ.ව. 9.25 ට සහ ප.ව. 12.10 ට ආරම්භ වනු ඇති බව සඳහන්.

මෙවර හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරගාවලියට රටවල් 12ක කණ්ඩායම් සහභාගී වන අතර, මූලික වටයෙන් එක් කාණ්ඩයකින් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනී.