හෙටින් ඇරඹෙන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් තරගය


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය හෙට (17) ගාල්ලේදී ඇරැඹීමට නියමිතයි.

ඒ සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (15) නිල වශයෙන් නිවේදනය කළ අතර සංචිතයේ ක්‍රීඩකයන් සිව්දෙනකු පළමු වරට ජාතික සංචිතයට ඇතුළත් වූවන් වීම විශේෂත්වයකි.

ධනංජය දි සිල්වා සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය දරන සංචිතයේ සිටින ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව ටෙස්ට් පිටියට සමුදෙන බැවින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දක්ෂතා දැක්වූ පිතිකරුවන් වන පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක මෙලෙස ජාතික සංචිතයට කැඳවීම් ලබා ඇත.

වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිලෙහි නැංගුරම වූ ඇන්ජලෝ මැතිව්ස් 2009 දී පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැත්වුණු තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහුගේ අවසන් තරගයත් ගාල්ලේ පැවැත්වීම විශේෂ කරුණක්.

මැතිව්ස් සිය ටෙස්ට් දිවියේදී ටෙස්ට් තරඟ 118 කදී ඉනිම් 216ක් ක්‍රීඩා කර ටෙස්ට් ශතක 16 ක් සහ අර්ධ ශතක 45ක් සමඟින් ලකුණු 8167ක් රැස් කර තිබේ.