සෞදි අරාබියේ ‘ක්‍රීඩා සෝදාපාළුවේ’ හස්තය ක්‍රිකට් ක්‍රීඩාවටත්

 


සෞදි අරාබියේ ‘ක්‍රීඩා සෝදාපාළුවේ’ හස්තය 
ක්‍රිකට් ක්‍රීඩාවටත් 

ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩියෙන්ම ලාභදායී ඉසව්ව වන අයි.පී.එල්. (IPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මෙවර පැවැත්වුනේ ලෝකයේ වඩාත්ම ධනවත් පවුලක් විසින් පාලනය කරන සෞදි අරාබියේ. රතු මුහුදේ පිහිටි වරාය නගරයක් මෙන්ම සෞදි අරාබියේ තිබෙන දෙවැනියට විශාල නගරය ද වන ජෙඩා හි රොක්වූ අයි.පී.එල්. කණ්ඩායම් නියෝජිතයන් දින දෙකක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 71කට වැඩි මුදලක් වියදම් කළේ තෙල් සල්ලිවලින් පිරී ඉතිරී යන රාජධානියක.

මේ ක්‍රීඩක වෙන්දේසිය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සෞදි අරාබියේ පළමු ප්‍රධාන මැදිහත් වීම සලකුණු කළ ද මේ සඳහා අඩිතාලම දැමුනේ ක්‍රමානුකූලව. සෞදි අරාබි ක්‍රිකට් සම්මේලනයේ සභාපති වන මිෂාල් බින් සෞඩ් අල්-සෞඩ් කුමරු (Prince Mishal bin Saud Al-Saud) අයි.පී.එල්. 2023 තරගාවලියේ ආරම්භක තරගයේදී ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා (Jay Shah) සමග එකට සිටින අයුරු ඡායාරූපගතව තිබූ අතර රජයේ අනුග්‍රහය ලබන සෞදි ආයතන ඉන්දියාවේ ලාභ උපදවන ක්‍රිකට් තරගවල අනුග්‍රාහක ගිවිසුම් අතීතයේදී අත්සන් කර තිබෙනවා.

රාජ්‍ය සංචාරක හස්තය වන Visit Saudi හා රජයට අයත් තෙල් යෝධයන් වන Aramco යන ආයතන දෙක ම ප්‍රමුඛ අයි.පී.එල්. අනුග්‍රාහකයන් වී තිබෙනවා. මීට අමතරව Aramco, ලෝක කුසලාන තරගාවලියන්හි සිය නාමය ප්‍රදර්ශනය කිරීමේ අයිතීන් ඇතුළු ජගත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධානතම සහකරුවෙක් ලෙස දිගු කාලීන එකඟත්වයකට අත්සන් කර තිබෙනවා. සෞදි වෙරළේ ඉදිවන Neom නමැති අනාගතයට ඔබින නගරයේ ලාංජනය ‘රාජස්තාන් රෝයල්ස්’ කණ්ඩායම මේ වසරේ ඔවුන්ගේ කමිසවල පැළඳ සිටියා.

අයි.පී.එල්. හෙවත් ඉන්දියා ප්‍රිමිය ලීගය නමැති වාසිමත් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය විදෙස් රටක පවත්වන පිට පිට දෙවැනි අවස්ථාව මෙයයි. පසුගිය වසරේ වෙන්දේසිය වඩාත් හුරුපුරුදු ක්‍රිකට් ඉසව්වක් වන ඩුබායි හි පැවැත්වූවද, සෞදි අරාබිය නියෝජනය කරන්නේ අලුත් තරග බිමක්. ජෙඩා නුවර මේ වෙන්දේසිය පැවැත්වීමෙන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය හා එහි ලේකම් මෙන්ම දෙසැම්බර් 1 වැනිදා ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරයට පත්වන ජේ ෂා සමග සෞදි අරාබියේ තිබෙන සම්බන්ධතාවේ ගැඹුර ප්‍රදර්ශනය වන බව අල්-සෞඩ් කුමරු පවසනවා.

2030 වසර වන විට තමන්ගේ ලොකුම සංචාරක උල්පත ඉන්දියාව බවට පත්කිරීම අරමුණ බව සෞදි අරාබිය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය වසරේ Star Sports ඔස්සේ ලොව පුරා මිලියන 20ක ප්‍රේක්ෂකයින් විසින් නරඹනු ලැබූ ක්‍රීඩක වෙන්දේසියට මේ වසරේ සත්කාරකත්වය දැක්වීමෙන් අවම වශයෙන් සම්පූර්ණ දින දෙකක ඉන්දියාවේ ප්‍රචාරයක් සෞදියට ලැබෙනවා. මේ, පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලිය අතරතුර තිබූ අඛණ්ඩ Visit Saudi ප්‍රචාරයන්ට අමතරවයි.

අවම යටිතල පහසුකම් හා අංකුර දේශීය සැකිල්ලකින් යුතුව සෞදි අරාබියේ ක්‍රිකට් ක්‍රීඩාව තිබෙන්නේ ක්‍රීඩා ඉමේ. ජගත් ක්‍රිකට් කවුන්සලයේ ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ 33 වැනි ස්ථානයේ පසුවන පිරිමි කණ්ඩායම මේ සතිය මුල පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ මූලික වටයේදී බහරේන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජය වූ අතර ඔවුන්ගේ කාන්තා කණ්ඩායම මේ දක්වා පැවති ජාත්‍යන්තර විස්සයි20 තරග පහෙන්ම පරාජය වී සිටිනවා.

එහෙත් සෞදි ආයෝජනයේ දියුණු කළහැකි ප්‍රතිඵල වටහා ගැනීම සඳහා එහි වඩාත් පුළුල් වූ ඉලක්කය දෙස මොහොතකට බැලීම පමණක් ප්‍රමාණවත්. මේ සෞදි අරාබි රාජධානිය දැනටමත් ප්‍රධාන ක්‍රීඩා කඩාකප්පල්කාරයෙක් බවට පත්ව සිටිනවා. බොක්සිං ලෝකයේ සිය ආධිපත්‍ය ඔවුන් පතුරුවා ගෙන තිබෙන්නේ රියාද් නගරය Tyson Fury හා Oleksandr Usyk අතර ලෝක හෙවිවේට් ශූරතා තරගවලට සත්කාරකත්වය දක්වමින්. සෞදි වෘත්තීය පාපන්දු ලීගය ලොව ප්‍රධාන පෙලේ ක්‍රීඩකයන් වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ හා කරිම් බෙන්සීමා වැනි ක්‍රීඩකයින් මැන්චෙස්ට යුනයිටඩ් හා රේආල් මැඩ්රිඩ් යන යුරෝපීය යෝධයන්ගෙන් ගලවා ගෙන සෞදියට ගෙන්වා තිබෙනවා.

වසර දෙකකට පෙර සෞදි අරාබිය වෘත්තීය ගොල්ෆ් ලෝකයේ සිවිල් යුද්ධයක් ආරම්භ කරමින් ස්ථාවර PGA තරගාවලියෙන් ඉවත්ව අලුතින් සැලසුම් කළ LIV තරගාවලියේ ක්‍රීඩා කිරීම පිණිස ක්‍රීඩකයන්ට දැවැන්ත මුදල් සම්භාරයක් පිදුවා. මේ තරගාවලියන් දෙක දැන් එකක් සේ එකතු වීම පිළිබඳව කලක් තිස්සේ සාකච්ඡා පවත්වමින් සිටින අතර මෙමගින් ගොල්ෆ් ක්‍රීඩාවට තිබෙන සෞදියේ බලපෑම විදහා දැක්වෙනු ඇතැයි පැවසෙනවා. මෙවැනිම බලපෑමක් ක්‍රිකට් ක්‍රීඩාවටත් යෙදවීමට අවශ්‍ය සම්පත් එම රට ට තිබෙනවා.

සෞදි අරාබිය මෙසේ ක්‍රීඩාව වෙනුවෙන් මුදල් ආයෝජනය කරමින් සිටින්නේ එම රාජධානියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන්ගේ (Mohammad bin Salman), තෙල් සල්ලිවලින් යැපෙන එරට ආර්ථිකය වෙනතකට යොමු කිරීමේ Vision 2030 නමැති දිගු කාලීන උපායේ කොටසක් ලෙස. මේ හේතුවෙන් සෞදි රාජකීය ධනයේ අරමුදල (PIF) අත දිගහැර වියදම් කරමින් සිටින්නේ එංගලන්ත පාපන්දු ප්‍රිමිය ලීගයේ නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායම පවා මුදලට ගනිමින්.

මේ ක්‍රියාමාර්ගයෙන් ඔවුන් අපේක්ෂා කරන තවත් වැදගත් ඉලක්කයක් වී තිබෙන්නේ ලෝක මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් තදින් හෙළාදකින එරට මානව අයිතීන් පිළිබඳ වාර්තාවේ අවධානය වෙනත් මගකට යොමු කිරීම. 2018 වසරේ සෞදි තානාපති කාර්යාලයකදී Jamal Khashoggi මාධ්‍යවේදියා ඝාතනය කිරීමෙන් පසුව සෞදි අරාබියේ ජාත්‍යන්තර කීර්තියට ප්‍රබල හානියක් සිදුවූවද, එරට කතා කිරීමේ නිදහසට පනවා තිබෙන බාධක මෑත වසරවලදී අඩු කරමින් හා මරණ දඬුවම මඳක් ලිහිල් කරමින් ඔවුන් ඒ අසීරු තත්ත්වයෙන් නැවත මිදී සිටිනවා.

සෞදි රජයට ‘ක්‍රීඩා සෝදාපාළුවේ’ චෝදනාවන් ද නිරන්තරයෙන් එල්ල වී තිබෙන අතර ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන ධාරාවට පිවිසියහොත් නැවත වරක් එම චෝදනාවට මුහුණ දීමට ඔවුන්ට සිදුවනවා. එහෙත් මේ ක්‍රීඩාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන චරිත විසින් ප්‍රබල නොවන බලයක් ලෙස යොදා ගෙන තිබෙනවා.

ගොල්ෆ් ක්‍රීඩාවට සිදු කළාක් මෙන් ප්‍රධාන ප්‍රවාහයෙන් වෙන්ව විස්සයි20 ලීග් තරගාවලියක් ඔ්නෑම මොහොතක දියත් කිරීමට සෞදි අරාබිය සූදානමින් සිටින බවට පසුගිය වසරේ වාර්තා වූ අතර ක්‍රීඩකයන් ද මේ පිළිබඳව දැන සිටියා. මුදල් සමග තරග කිරීමට නොහැකි බවත් විශේෂයෙන් සෞදි අරාබිය සමහර පුද්ගලයන් වෙත විසිකරමින් සිටින සල්ලිවලට එරෙහිව තරග කළ නොහැකි බවත් එංගලන්තයේ ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් කියා තිබුනා.

එහෙත් නුදුරු අනාගතයේ එවැන්නක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික වශයෙන් අපහසු වී තිබෙන්නේ සෞදි අරාබියේ ක්‍රිකට් යටිතල පහසුකම් ප්‍රමාණවත්ව නොතිබීම හා ඔ්නෑම ලීගයක කණ්ඩායමකට උපරිම වශයෙන් ඇතුළත්ව සිටිය හැක්කේ විදෙස් ක්‍රීඩකයින් සිවු දෙනෙකු පමණක් බවට ජගත් ක්‍රිකට් කවුන්සලය මෑතකදී පැනවූ නීතිය හේතුවෙන්.

කෙසේ වෙතත්, ගොල්ෆ් තරගාවලියේ සිදු කළ වෙන්කිරීමෙන් හටගත් මතභේදය නිසා පාඩමක් ඉගෙන ගත් සෞදි අරාබිය ඔවුන්ගේ ආයෝජන උපායමාර්ගවල වෙනසක් සිදුකර තිබෙන බවක් දිස්වනවා. මේ හේතුවෙන් ඔවුන් දැනට වඩා සහයෝගීව කටයුතු කරන ප්‍රවේශයක් ලබා ගනිමින් ක්‍රීඩා දේශපාලනය නමැති පිට්ටනියේ වඩාත් පරෙස්සමින් සෙල්ලම් කිරීමට ඉගෙන ගනිමින් සිටිනවා.

SOURCE: VG (Journalist)