වසර 34කට පසු කොදෙව්වන් ලැබූ සුපිරි එක්දින තරගාවලි ජය


සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ පැවති තුන්වන එක්දින තරගය ලකුණු 202 කින් ජය ගැනීමත් සමඟින්.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 294ක් රැස් කළා.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 29යි පන්දු 2කදී දැවී ගිය අතර ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 92ක්.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂායි හෝප් ලකුණු 120ක් ලබා ගත් අතර ජේ්ඩන් සීල්ස් ලකුණු 18කට පාකිස්ථාන කඩුලු 06ක් බිද හෙලුවා.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය කොදෙව්වන් නිමාවට පත් කළේ තරග දෙකට එකක් ලෙස තරගාවලියේ ජය තමන් සතු කර ගනිමින්.

පාකිස්ථානයට එරෙහිව කොදෙව් කණ්ඩායමක් මෙලෙස තරගාවලියක් ජය ගත්තේ වසර 34 කට පසුවයි.