බේබි ඩිවිලියස්ගෙන් ඕස්ට්‍රේලියානුවන්ට අමතක නොවන ප්‍රහාරයක්


ඕස්ට්‍රේලියාව සමගින් පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී වාර්තාගත ශතකයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරු ඩෙවල්ඩ් බ්‍රෙවිස් අද(12) සමත් වුණා.

මෙම තරගයේදී පන්දු 56කදී නොදැවුණු ලකුණු 125ක් රැස්කිරීමට බේබි ඩිවිලියස් සමත් වුණේ හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් සමගින්.

මෙය වාර්තා පොත් අතරට එක් වුණේ දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එම ශතකයත් සමඟ 2015 වසරේදී ෆැෆ් ඩුප්ලෙසී කොදෙව්වන්ට එරෙහිව රැස්කළ ලකුණු 119ක වාර්තාව බිදවැටුනා.

මෙම ඉනීමේදී බ්‍රෙවිස් පන්දු 41කදී සිය ශතකය සම්පූර්ණ කළ අතර, එය දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිතිකරුවෙක් වාර්තා කළ දෙවන වේගවත්ම ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය ලෙසද ඉතිහාසගත විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 218ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 165ක් පමණි.

ඒ අනුව ලකුණු 53ක් ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.