දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකා රග්බි පිලට තියුණු පරාජයක්


ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය දකුණු කොරියාවට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පස්වරුවේ පැවැත්විණි.

එම තරගයේ දී තියුණු සටනකින් අනතුරුව ලකුණු 38-34 ක් ලෙසින් ජයග්‍රහණය ලැබීමට ප්‍රබල දකුණු කොරියානුවන් සමත්විය.

තරගයේ මුල් මිනිත්තු 59 පුරාවටම ලකුණු 29 - 26 ක් ලෙසින් ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටීමට සමත් විය.

නමුත් 60 වැනි මිනිත්තුවේ දී දකුණු කොරියානුවන් විසින් ලබාගත් උත්සාහක දිනුම සමගින් තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට දකුණු කොරියාව සමත් විය.

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකාව මීළගට හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරග වැදීමට නියමිතය.

එහිදී ජුනි 22 වැනිදා හොංකොං කණ්ඩායමට එරෙහිව සහ ජූලි 04 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලෙසින් ශ්‍රී ලංකාවේ සෙසු තරග පැවැත්වේ. 

2027 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයේ ශූරයන් බවට පත්විය යුතුය.