ඇන්ජලෝගේ ආබාධය සුළු එකක්

 

ඇන්ජලෝගේ ආබාධය සුළු එකක්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දෙමින් සිටියදී දකුණතේ ඇඟිල්ලක පන්දුවක් වැදී ක්‍රීඩා පිටියෙන් ඉවත් වුව ද,එයින් අස්ථි බිදීමක් සිඳු වී නැති බවත්,ඔහු නැවත පන්දුවට පහර දීමට පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසනවා.ලකුණු 33 දී කඩුලු 2 ක් දැවුණු මොහොතේ දිනේෂ් චන්දිමාල් සමඟ එක්ව ශ්‍රී ලංකා ඉණිම ගොඩ නැඟීමේ කාර්යයට උර දෙමින් සිටියදී මැතිව්ස් මෙම ආබාධයට ලක් වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව දැක් වුණේ ලකුණු 69 ට කඩුලු 2 ක් ලෙසයි.

එතැන් සිට දිවා භෝජනය සඳහා තරගය නවතන තෙක් කඩුල්ල රැක ගනිමින් පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල් අංක තුන පිතිකරුගේ වගකීමට යම් සාධාරණයක් ඉටු කරමින් නොදැවී ලකුණු 30 ක් ලබා ගෙන සිටිනවා.කමිදු මෙණ්ඩිස්ගේ නම ඉදිරියේ නොදැවී ලකුණු 13 ක් සටහන් වෙනවා.ශ්‍රී ලංකාවේ දැවී ගිය කඩුලු 2 ට වගකීමට වේග පන්දු යවන විලියම් ඕ රොකේ සමත් වුණා.

කාසියේ වාසිය ගෙන ශ්‍ර ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළේ දඟ පන්දු යවන්නන්ට සුදුසු ගාල් ක්‍රීඩාංගණයේ තණතීරුවේ සිව්වන ඉණිම ක්‍රීඩා කරන්නට නවසීලන්තයට ලැබෙන අවස්ථාව සම්බන්ධයෙන් බලාපොරොත්තු රඳවා ගෙනයි.

SOURCE: NMR (Journalist)