නංගිගේ විවාහයට පෙර දින රාත්‍රියේ මිය ගිය ‘අයිස් හොකී’ සොහොයුරෝ

 


නංගිගේ විවාහයට පෙර දින රාත්‍රියේ මිය ගිය ‘අයිස් හොකී’ සොහොයුරෝ

හිම මත හොකී ක්‍රීඩාවේ (අයිස් හොකී) ජනප්‍රියත්වයක් අත්කර ගෙන සිටින ඒ අමෙරිකානු පවුල සූදානම් වෙමින් සිටියේ විවාහ උත්සවයකට. නමුත් ඔවුන්ට සිදුවූයේ අවමංගල්‍ය උත්සව දෙකකට මුහුණ දීමට.

පසු දිනයේ දෙවැනි මනමාලයන් වීමට සිටි ‌එම පවුලේ සොහොයුරන් දෙදෙනා ඔවුන් උපත ලැබූ උතුරු නිව් ජර්සි නගරයේ මාර්ගයක පාපැදි ධාවනය කරමින් සිටියේ ඔවුන්ගේ බාල ම සොයුරියගේ විවාහෝත්සවයට පෙර දින රාත්‍රියේ.

එහෙත් කුරිරු දෛවයේ සරදමින් මේ පවුලේ අයට විවාහ උත්සවයකින් ප්‍රීති වනවා වෙනුවට සිදුවූයේ අවමඟුල් දෙකකින් ශෝක වීමට.

31 හැවිරිදි ජොනී ගුඩ්රෝ (Johnny Gaudreau) සහ 29 හැවිරිදි මැතිව් ගුඩ්රෝ (Matthew Gaudreau) අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ Oldsmans නගර ප්‍රදේශයේ මීදුමින් වැසී ගිය 551 මාර්ගයේ පාපැදිවලින් යන විට හිරු බැස ගොස් තිබුනා.

අයිස් හොකී ක්‍රීඩාවේ සහජ දක්ෂතාවක් තිබූ ජොනී හා මැතිව් ට ක්ෂිතජයේ පෙනෙන්නට තිබුනේ ඉතාමත් හොඳ සාර්ථකත්වයක්. ‘ජොනී හොකී’ ලෙසින් ඉතාමත් ජනප්‍රියව සිටි ජොනී උතුරු අමෙරිකාවේ වෘත්තීය අයිස් හොකී ලීගය වන NHL හි Calgary Flames කණ්ඩායම විසින් විදුහලේ සිට කෙළින් ම සුවිශේෂ වෘත්තීය ක්‍රීඩා දිවියක් ආරම්භ කිරීම සඳහා තෝරා ගැනීමට පෙර ජොනී සහ මැතිව් බොස්ටන් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා වාරයක සෙල්ලම් කළේ එකට. 

ඔවුන්ගේ පවුල ව්‍යාප්ත වෙමිනුයි තිබුනේ. තම පවුලට තවත් සහෝදරයෙක් සාදරයෙන් පිළිගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටියේ ඔවුන්ගේ සොහොයුරිය වන කේටී ගුඩ්රෝ (Katie Gaudreau) ඇයගේ පෙම්වතා සමග ෆිලඩෙල්ෆියා නගරය අසල නිව් ජර්සි හි ග්ලොස්ට නුවරදී විවාහ වීමට සූදානම් වෙමින් සිටි බැවින්.

මැතිව් ගුඩ්රෝගේ බිරිඳ මැඩලින් ගුඩ්රෝ (Madeline Gaudreau) සිටියේ ඔවුන්ගේ පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන්. හිටපු උසස් පාසල් හොකී පුහුණුකරුවකු හා අනාගත පියා එළඹෙන දෙසැම්බරයේදී මෙලොව එළිය දැකීමට නියමිත ට්‍රිප් (Tripp) නමැති පිරිමි දරුවාගේ අති ධ්වනිය තීරුවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පෝස්ට් කර තිබුනේ ඉතාමත් ආඩම්බරයෙන්.

ගුඩ්රෝ පවුල විවාහ උත්සවයකට සූදානම් වෙමින් සිටි රාත්‍රියේ, බීමත් රියදුරෙක් ගුඩ්රෝ සොහොයුරන් පාපැදි ධාවනය කරමින් සිටි මාර්ගයේ ම ඔහුගේ ජීප් රථය පදවමින් සිටියා.

ඒ රාත්‍රියේ තමා බීර බෝතල් පහක් හෝ හයක් පානය කර සිටි බව 43 හැවිරිදි රියදුරු ෂෝන් හිගින්ස් (Sean Higgins) පසුව නිව් ජර්සි ප්‍රාන්ත පොලිසියට ප්‍රකාශ කර තිබුනා.

සෙමෙන් ධාවනය කරමින් තිබූ සෙඩාන් රථයක් හා SUV රථයක් පසු කිරීමට උත්සාහ කරමින් සිටි හිගින්ස් ට සෙඩාන් රිය පසු කිරීමට හැකිවුනා.


ගුඩ්රෝ සොහොයුරන් මාර්ගයේ බයිසිකල් පදිමින් එනු දුටූ SUV රථයේ රියදුරා ඔවුන් පරිස්සමෙන් පසුකර යාම පිණිස මාර්ගයේ මැද ධාවන පථයට රථය ගෙන ආවා.

එහෙත් හිගින්ස්ගේ ඊළඟ ක්‍රියාවෙන් සොහොයුරන්ගේ රාත්‍රී බයිසිකල් ධාවනය ඛේදවාචකයක් බවට පරිවර්තනය වුනා.

SUV රථය පසු කිරීමට උත්සාහ කළ රියදුරා ජොනී හා මැතිව් ගුඩ්රෝ සමග වේගයෙන් ගැටුනේ සොයුරිය විවාහ වනු දැකීමේ අවස්ථාව සොයුරන්ට සදහටම අහිමි කරමින්.

බොහෝ දෙනා ආදරය කළ සැමියෙක් හා දරු දෙදෙනෙකුගේ පියෙකු වූ ජොනී ඔහුගේ බාල සොහොයුරා සමග ඒ අවාසනාවන්ත රාත්‍රියේ 551 මාර්ගයේදී මිය ගියා.

මාරක රියදුරු හිගින්ස් ට නිව් ජර්සි රාජ්‍ය බන්ධනාගාරයේ දස වසරක උපරිම සිරදඬුවමක් නියම වීමට ඉඩ තිබෙනවා.

හිම මත හොකී ක්‍රීඩාවේ පමණක් නොව අනෙක් ක්‍රීඩාවන්හිදී ද ලොව සෑම තැනකම ගුඩ්රෝ සොයුරන් දෙදෙනා වෙනුවෙන් විවිධ ආකාරයෙන් ශෝකය පළ කෙරුනේ මුළු මහත් ක්‍රීඩා ලෝකය ම කම්පාවට පත්වෙමින්. SOURCE: VG (Journalist)