දිනන එක මැජික් වීම වළක්වා පරදින එක මැජික් වෙන දවසකට.......
ආසියානු කාන්තා ක්‍රිකට් ජයග්‍රහණයේ උණුසුම විඳ විස්සයි විස්ස තරගයක් ගෙවෙන කාලයක් යන්නටත් මත්තෙන් ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ඇති කළේ දැඬි කණස්සල්ලකි.කිලෝ මීටර් 76 ක් දුරක් ඇතුළත මධ්‍යම පළාතේ දෙතැනක ලංකාවේ ක්‍රිකට් ගැන දෙවිදිහකට සිතන්නට සිදු වීම ඛේදයකි.
පිරිමි කණ්ඩායමේ ජයග්‍රහණ කණපිට ගැහුණු තැන පෙර කී ලෙසම අවුල් එකකි.ක්‍රිකට්වලට කිසිසේත්ම අදාළ නොවන සිගරට්,බියර්,කාන්තාවන් සම්බන්ධ ප්‍රශ්න පදනම් කරගෙන ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතය මිනිස්සු විසින් අඳින සීමාවන්ට යටත් කරන්නට ගත් උත්සාහය අද වන විට පැමිණ ඇත්තේ ක්‍රිකට්වලින් සතුටු වූ මිනිසුන්ගේ සීමාව පොඩි වූ තැනකටය.
මේවා සිඳු වුණේ බලයට ආසා හිතුණ මිනිස්සු තමන්ට පවතින ක්‍රමයට බලය ගන්න අපහසු නිසා, දේශපාලනය ගාවාගෙන ස්වීය ඉලක්ක වෙනුවෙන් දඟළපු නිසාය.මේ දැඟලිල්ල තවත් අතකින් මිනිස්සුන්ව ආමන්ත්‍රණය කරන්න තියෙන සමාජ මාධ්‍ය වැනි සංවේදී ස්ථාන හරහා වඩාත් පුළුල් වන්නට විය.
මේ සියලු දේ ඇතුළේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය බොහෝ දෙනෙකුට ද ක්‍රිකට් වැටී ඇති බවත් එය ගොඩ දැමීමේ හැකියාව ඇත්තේ තමන්ට බවත් හැඟවෙන කතා කියන්නට විය.තමන් ක්‍රිකට් ගසා රටට වැඩක් කර ඇති නිසා මේ ගලන මුදල්වලින් දෝතක් ගැනීමට තමන්ටද අයිතිය ඇති බව සිතන්නට විය.ලංකාවේ බොහෝ ක්‍රිඩාවල තරු ගුණය ක්‍රීඩාව ඇතුළේ වපුරපු අය ඒ අතර තමන්ගේ ඇකඩමික් ගුණාංග වර්ධනය ගැන අවධානය යොමු කරන්නේම නැති තරම්ය.ඒත් ඔවුන් හිතන්නේ තමන් ක්‍රිඩා කළ නිසා තමන්ම ක්‍රීඩාව පාලනය කළ යුතු බවය.
ක්‍රීඩාන කර තිබීම වැදගත්ය.එහෙත් ක්‍රීඩාව පාලනය කිරීම කියන කාරණයට ක්‍රිඩා කිරීමෙන් එහාට විහිදුණු දැණුමකුත් අවශ්‍යය වන්නේය.පුහුණුකාරිත්වයද එබඳුය.ඇතැමෙක්ට එම සහතික සියල්ල තිබුණත්,එකිනෙකට වෙනස්ව එකිනෙකා ගැන සිතන්නට අපහසුය.උත්තර අවශ්‍යය වන්නේ මේවාටය.ක්‍රිකට් ක්‍රීඩකයෝ ද ක්‍රිකට් වඩා සිය ඉතිහාස වටිනාකම් කියමින්,පරණ කතා මුමුණමින් වදය වට කැරකෙන මීමැස්සන් සේ රොඳ බඳින්නට විය.
වත්මන් පුහුණුකරු සනත් ජයසූරිය ද පසුගිය කාලයේ ඒ මොහොත කළමණාකරණය කර ගත යුතුව තිබුණු හැටි බොහෝ අවවාද දුන්නේය.තමන් ඒ මොහොතේ සිටියානම් කරන දේ ද කීවේය.අඩු පාඩු බොහෝ දැක්කේය.දැන් පුහුණුකරු ලෙස සහභාගි වූ තරග දෙකේදීම මෑත කාලයේ වඩාත්ම අසාර්ථක වූ මැද පෙළ දකින්නට ලැබිණි.පළමු තරගයෙන් පසුව නිවැරදි කර ගෙන පැමිණෙනු ඇතැයි සිතුවද,දෙවන තරගයේදි අවසාන පන්දු ඕවර් 5 තුළ (පන්දු 30) ලකුණු 31 ට කඩුලු 7 ක් ශ්‍රී ලංකාවට අහිමි වන්නේය.
එසේම මේ සමාජ රැල්ලට අනුව හොඳ නරක තීරණය කරන මට්ටමේ සිට ලෝකයත් එක්ක අලුත් වෙන්න බැරි පිරිස් සහ එය දිරවාගන්න බැරි පිරිස් ද,එකතුව කියූ මෝඩ කතාවලට අනුව සනත් හෝ කවුරු හෝ විනය සැකසෙන බව සිතා රුවුල්,කොණ්ඩ කපා,කරාබු ගලවා ගත් පසු ආශ්චර්යයක් වෙන බව සිතයි නම් එය මහින්ද රාජපක්ෂගේ ආශ්චර්යය විශ්වාස කර ඔහු පසු පස වැටීමටම සමානය.සනත් එසේ සිතුවේනම් ඔහුට වැඩි වරදක් කියන්න නොහැකි ඔහු මහින්දගේ ආශ්චර්යය පිටුපස යන මට්ටමේ මොඩලයක් බව ඉතිහාසයේදීම ඔප්පු කර තිබෙන බැවිනි.
මේ තරම් විනය ගැන වෙහෙසෙන මිනිස්සුන්ට ගරු කරන අගය කරන සමාජ මාධ්‍යම තාක්ෂණික වශයෙන් දියුණු මෙවලමක් ලැබුණාට තවමත් සමාජමය වශයෙන් පැහී නැත.ක්‍රීඩාව හදන්න අමාරු ලෝකයට පේන්න ඇඳුම යට කර,කරාබුව ඉවත් කර,කොණ්ඩය කොට කර රැවුල කැපීමෙන් නොව,ක්‍රීඩාවේ විනය ඊට වඩා වෙනස්ය.පුහුණුකාලය තුළ හෝ හෙට තරගය තිබියදී අවශ්‍යය නිදි විවේකය නොලබා කිසිවෙකු හෝ වැඩ කරනවානම්,බොනවානම්,සාද පවත්වනවානම් වැරදි ඒවාය.කාටවත් බොන්න එපා කියා බිව්වම කණ්ඩායමෙන් එලවන්න කියා කියන්නට හදන එක මෝඩකමක්ය.පෞද්ගලික ජීවිතය ක්‍රීඩකයාට අවශ්‍යය පරිදි පවත්වාගෙන යන්නට අවසර දී ක්‍රීඩාවට අවශ්‍යය මොහොත ඒ වෙනුවෙන් කළ යුතු කැපවීම කිරීම ක්‍රීඩාවේ පැවත්මට අදාළ වන විනය වන්නේය.
ඒ විනය ගිලිහුණු පසුව කොණ්ඩා ගස්වලින්,රුවුල් ගස්වලින් විනය අල්ලා ගන්නට බැරිය.කඩුලු 3 ට ලකුණු 130 ක් බවට ලකුණු පූවරුව පත්වන්නේ තරගයේ 16 යව ඕවරයේ පළමු පන්දුවේදී ය.එවිට ලකුණු ලැබීමේ වේගය ඕවරයට 8.60 ට වඩා වැඩිය.විස්සයි විස්ස තරගයක එවැනි ලකුණු පූවරුවක් කඩුලු 7 ක් අතැතිව පෙනෙන්නට ඇත්නම් අනුමානය 180 ක් හෝ 200 ක් විම සාමාන්‍ය තත්ත්වයකි.එහෙත් ඉණිම නිමා වූවේ කඩුලු 9 ක් දැවී ලකුණු 161 ක් ලෙසය.
දැවුණු කඩුලු අතර පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවුණු දසුන් ශානක සහ වනිඳු හසරංග දෙදෙනාම හිටපු නායකයෝය.දැන් මේ මොහොත කියා ගත යුත්තේ කෙසේද?මේ කණ්ඩායමේ බහුතර මතය නැද්ද?තෝරා ගත යුතු පුහුණු කළ යුතු පැරණි ක්‍රිඩකයින් ගැන කියද්දි සනත්ගේ නම ද තිබිණි.ඉතිං ඔහු දැන් එතැනය.තව උදාහරණවලට ගොස් පෙන්නා දිය යුතුය යන්න සිතා පලක් නැත.ක්‍රීඩකයින් වගකීම තේරුම් ගැනීම වැදගත්ය.
විනය යනු සමාජය හිතන අමද්‍යප,පංච ශීලය සුරකින එකක් නොවේය.උන්ගෙ ජීවිත උන්ගේ පාඩුවේ ගෙවා ගන්නට දී ක්‍රිකට් සඳහා වැය කරන කාලය විනයකට කැප කරවීම වැදගත්ය.මහා දේවල් මේ ක්‍රිඩකයින් බොහෝ දෙනෙකුගේ ජිවිත තුළ තිබිය නොහැකිය.ඒ සඳහා සුදුසු කලමණාකරුවන් ඔවුන්ට අවශ්‍යය කරන්නේ ද නැත.ඔවුන් බොහෝ දෙනෙක් කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට මුදල් නැතුව දුක් විඳපු ඉතිහාසයක් ගත කළ අයය.ඔවුන්ට ඒ මොහොත කළමණාකරණය කර ගන්නට අඩු වුණේ මුදල්ය.දැන් මුදල් ඇති විට ඔවුන්ට සිතෙන්නේ සියල්ල මුදල් මඟින් කළමණාකරණය කර ගන්නටය.කළමණාකරුවන් ද ඒ හැඟීම වෙනස් කරන්න උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත.ලිහා දැමූ බල්ලන් මෙන් අතහැර කෙහෙන් හෝ ඩැහැගෙන එන මුදල තමන්ටත් ක්‍රීඩකයාටත් වින්දනයක් ලාභයක් ගන්න විදිහට වැය කිරීම කළමණාකරුවන්ද සිය රාජකාරි වගකීම ලෙස සිතා සිටින්නේය.
වෙනස් විය යුතු මේ සංස්කෘතික අයාලේ යාමය.ඒ අයාලේ යාම වළක්වන්නට මෝඩ පහේ සංස්කෘතික පොලිසි සකසා පන්සිල් රකින පිරිසක් හදන බව ලෝකයට පෙන්නන්න කවුරුන් හෝ හදන්නේනම් එය පහළ සමාජයේ ආකර්ශණය සහ තමන්ගේම ඉතිහාස කතා වසා ගන්නට කරන ජඩකම් පමණය.ඒ නිසා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් හී ආරංචිවලට අනුව සාකච්ඡා වෙමින් පවතින ක්‍රීඩක කළමණාකාර ධූරය අධීක්ෂණය කරන සහ ඒ තනතුරු සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇති කිරීම ඇරඹෙන තෙක් ඉවසීමෙන් බලා ඉන්නට වෙනු ඇත.එතෙක් පන්දු ඕවර් 8 න් ඉන්දියාවට තරගය ජයගන්න ලකුණු 81 රැස් කරන්නට කී විට ලංකාවේ පන්දු යැවීමේ බල ඇණිය එය පන්දු ඕවර් 6.3 දී ලබා දීම විශාල මැජික් එකක් නොවෙනු ඇත.මේ ඒ ලකුණු පූවරුවය. https://es.pn/4diRtRQ
අවසනාව එසේ නොවී ඉදහිට ලබන ජයග්‍රහණ මැජික් සේ දැනෙන්නට පටන්ගෙන තිබීමය.ඒ අහඹු මැජික් ප්‍රදර්ශන හකුලා සෘජුව නැඟී සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජයග්‍රහණ බහුල වාතාවරණයක් හැඳෙන තෙක් ඉවසීමෙන් දැනට පවතින විෂබීජ විනාශ කිරීම කළ යුතුව ඇත.
Social Plugin