ආසියානු බවලතුන්ගේ දස්කම් බලන්න නොමිලේ ඉඩ


ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජූලි 19 වන දා සිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එම තරගාවලිය නැරඹීම සඳහා ප්‍රෙක්ෂකයන්ට නොමිලේ අවස්ථාව සළසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, මැලේසියාව සහ තායිලන්තය තරග වඳින මෙම තරගාවලියේ මූලික තරග කාණ්ඩ දෙකකට බෙදා පැවත්වේ.එහිදී ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව,සහ තායිලන්තය ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

තරගාවලියේ ආරම්භක තරගයේ දී ජූලි 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය නේපාලය සමඟ පස්වරු 2 ට තරග වදින අතර ඉන්දියාව පාකිස්තානය සමඟ පස්වරු 7 ට තරග වදියි.ශ්‍රී ලංකාවේ පළමු තරගය පැවත්වෙන්නේ ජූලි 20 වන දා බංගලාදේශයට එරෙහිවය.

තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න නම් කර ඇති අතර ඔහු මාධ්‍ය දැනුවත් කරමින් පැවසුවේ,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහය ඇතිව ඉතා ඉහළින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවය.ජාත්‍යන්තර ක්‍රිකට් වේදිකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනව මෙම තරඟාවලියේ සාර්ථක ප්‍රතිඵලය උපකාරී වනු ඇති බව ද රවීන් වික්‍රමරත්න මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

 තරඟාවලියේ සියලුම තරඟ ජාත්‍යන්තර වේදිකා හරහා සජීවීව විකාශය කිරීමට කටයුුතු කර තිබේ.

- NMR