සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය (ZC) විසින් ඊයේ (4) නිවේදනයක් නිකුත් කරමින්, ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක සීන් විලියම්ස්ගේ ජාතික කොන්ත්‍රාත්තුව 2025 දෙසැම්බර් 31 දිනෙන් පසු නවීකරණය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළා.
අවුරුදු 39ක් වූ විලියම්ස්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් දැනට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව වාර්තා වන අතර, ඔහුගේ හැසිරීම “වෘත්තීය හා සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කරන” බව ZC නිවේදනයේ සඳහන් කරයි.
ZC තවදුරටත් ප්‍රකාශ කරන්නේ,
“කොන්ත්‍රාත්තුගත සියලුම ක්‍රීඩකයින්ගෙන් ඉහළම වෘත්තීයභාවය, විනය සහ කණ්ඩායම් ප්‍රොටෝකෝල සහ තහනම් උත්තේජක විරෝධී නීතිවලට අනුකූල වීම අපේක්ෂා කරයි. විලියම්ස්ගේ වාර්තා සමාලෝචනය කිරීමේදී විනය ගැටලු සහ නිතර නොපැමිණීමේ ඉතිහාසයක් සටහන් වී ඇති අතර එය කණ්ඩායමේ සූදානමට හා ක්‍රියාකාරිත්වයට බලපා ඇත.”
“ඔහුගේ පුනරුත්ථාපනය අප අගය කළද, විභව පරීක්ෂණයකට අදාළ තත්ත්වයන් යටතේ කණ්ඩායම් කැපවීම්වලින් ඉවත් වීම වෘත්තීය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කරයි. හොඳින් සලකා බැලීමෙන් පසුව, විලියම්ස් තවදුරටත් ජාතික තේරීම් සඳහා සලකා නොබලන බව ZC තීරණය කර ඇත.”
එසේ වුවද, විලියම්ස් විසින් පසුගිය දශක දෙකක් තුළ සිම්බාබ්වේ ක්‍රිකට් වෙනුවෙන් ලබාදුන් විශාල දායකත්වය ZC විසින් ඉතා අගය කරන බවද නිවේදනයේ සටහන් වේ.
ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය පුරා විලියම්ස් ලකුණු 8,968ක් රැස් කර ඇති අතර, ශතක 14ක් හා කඩුලු 161ක් දවාගෙන සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රමුඛ ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ නම ලියා ඇත.

Social Plugin