නැගී එන ආසියානු කුසලානයේ ක්‍රිකට් නායකත්වය වෙල්ලාලගේට?


පාකිස්ථානට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ සංචිතයෙන් ඉවත් කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කටාර්හිදී පැවැත්වෙන නැගී එන ආසියානු කුසලානයට (Emerging Asia Cup) ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබේ.

තේරීම් කමිටු ආරංචි මාර්ග පවසන්නේ, පාකිස්ථාන තරගාවලියට අදාළ අවසන් කණ්ඩායමට වෙල්ලාලගේ ඇතුළත් වීමට ඇති ඉඩකඩ අඩු බැවින්, ඔහුට එම සංචාරයෙන් විවේකයක් ලබා දී, ඒ වෙනුවට නායකත්ව අත්දැකීම් සහ තරග නිරාවරණය ලබාදීම මෙම තීරණයේ අරමුණ බවයි.

වෙල්ලාලගේට අමතරව, අනාගත සුදු පන්දුවාර ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන විෂේන් හැළඹගේ ද මෙම ‘A’ කණ්ඩායමට එක්වීමට නියමිත වන අතර, තරුණ දඟපන්දු යවන්නන් වන ට්‍රැවින් මැතිව්ස් සහ විජයකාන්ත් වියස්කාන්ත් ද සංචිතයට ඇතුළත් වීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

අදාළ ආසියානු කුසලානය තරුණ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලබාගැනීමට ඉතාමත් වැදගත් වේදිකාවක් වන අතර, ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට අමතරව අනාගත නායකයන්වක් ලෙස දක්ෂ ක්‍රීඩකයින්ට තම හැකියාවන් පෙන්වීමට මෙය අතිශය වටිනා අවස්ථාවක් වේ.