ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියරට දින නියම වෙයි


ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka )  දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ  නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී ලෝලීන්ට ඉදිරි නොවැම්බර් මාසය පුරා නැවුම් උද්වේගකර අත්දැකීම් රාශියක් විඳගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී  ලංකා පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, BRC, CH, CR, Old Senanayakians Sports Club (DS), Royal College Hockey Club ඇතුළු ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ප්‍රභල කණ්ඩායම් 9ක් එක්වනු ඇත. ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතුව Nextgen Hockey Development Society මෙම PHL 2025 තරගාවලිය  සංවිධාන කරනු ලබයි.

PHL පළමු අදියරේදී, ඉන්දියාව සහ පකිස්ථානයේ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට සහභාගී වූ අතර, මේ වසරේදී ද PHL තරගාවලිය සඳහා  ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් රාශියකගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ. ඔවුන්ගේ විවිධ ක්‍රීඩා කුසලතාවන් මෙන්ම ගෝලීය ක්‍රීඩා අත්දැකීම් සහ පළපුරුද්ද සමඟින් ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව තුළ තිබෙන තරගකාරීත්වය තවදුරටත් ඉහළ නංවමින්,ආශ්වාදජනක තරඟකාරී අත්දැකීමක් දිවයින පුරා සිටින හොකී රසිකයන්ට තිළිණ කරනු ඇත.

මෙම තරගාවලිය කොළඹ සහ මාතලේ යන නගර ද්විත්වයේදීම පැවැත්වෙන අතර, මෙමඟින් නගර සහ ගම්බද ප්‍රදේශවල හොකී රසිකයන් අතර ක්‍රීඩාව පිළිබඳ ඇති කැමැත්ත හා අවධානය වඩාත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිරියට අන්තර්ජාතික මට්ටමින් තරග කිරීමට හැකි ක්‍රීඩකයන් බිහිකිරීම හා පුහුණු කිරීම සඳහා ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් පරිපූර්ණ නව කණ්ඩායමක් හඳුන්වා දීමට ද මෙවර සැලසුම් කර තිබේ.

PHL තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් ආයෝජකයන්, මෙරට මාධ්‍ය, හිටපු ක්‍රීඩකයන් සහ හොකී ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දක්වන ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුණු දායකත්වය පිළිබඳ සංවිධායකයන් සිය ගෞරව ප්‍රණාමය පුද කළහ.

Nextgen Hockey Development Society හි සභාපති කමල් පුෂ්පකුමාර මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය." ප්‍රිමියර් හොකී ලීග් තරඟාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ උසස් මට්ටම ප්‍රදර්ශනය කරනවා පමණක් නොව, එය අනාගත ක්‍රීඩා පරපුර වෙනුවෙන් මාර්ගය සකස් කිරීමට ඉවහල් වන කදිම වේදිකාවක්. මේ වසරේදී තරගාවලියට සහභාගී වන කණ්ඩායම් ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවා තිබෙන අතර ගෝලීය මට්ටමේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් මෙන්න අඛණ්ඩව අප වෙත  සහයෝගය ලබාදෙන  සියලු පාර්ශවකරුවන්ගේ විශිෂ්ටත්වය සමඟින් ආශ්වාදජනක තරග අත්දැකීමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම ගැන අප බෙහෙවින්  සතුටු වෙනවා.'' 

PHL 2025 තරගාවලිය ඔස්සේ ක්‍රීඩාවේ කාර්යශූර භාවය, විවෘතභාවය, සහ ක්‍රීඩා ආචාරධර්ම ප්‍රවර්ධනය කරමින් ,  ක්‍රීඩකයන් සහ රසිකයන් වෙත අමතක නොවන අත්දැකීමක් පිරිනැමීමට බලාපොරොත්තු වේ.