"මම ආයේ කවදාවත් මගේ උපරිමයට එන එකක් නෑ" - ලියොනල් මෙසී


2025 ක්‍රීඩා සමාජ ලෝක කුසලානයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් සමග පැවති තරගයෙන් ඉන්ටර් මයාමි කණ්ඩායමට ගෝල 4 - 0 ක පරාජයක් හිමි වුණා.

එම පරාජයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ලියොනල් මෙසී ලබා දුන් පිළිතුරක් පිළිබඳව පාපන්දු ලෝලීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

මාධ්‍යවේදියා :- ඔබ තරගයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මොකද හිතන්නේ?

ලියොනල් මෙසී :- අද මම කලින් කිව්වා වගේම අපි ක්‍රීඩා කළේ චැම්පියන්ස් ලීග් ශූරතාවය ජයග්‍රහණය කරපු කණ්ඩායමත් එක්ක. අවසන් තරගයේ ප්‍රතිඵලයත් ගෝල 4-0 ක් හෝ 5-0 ක්. මට ඒක හරියටම මතක නෑ. ඔවුන් දැන් ලෝකයේ ඉන්න හොඳම කණ්ඩායමක්. ඒ ගැන කිසිම සැකයක් නෑ. අද සිදුවුණ දෙයත් පුදුම වෙන්න හේතුවක් නෙමෙයි.

ප්‍රේක්ෂකයන් අපි තරගාවලියේ කරපු දේවල් සම්බන්ධයෙන් විශ්වාස කළෙත් නෑ. අපි තරගාවලියේ කාණ්ඩ වටයෙන් ඉදිරියට නොයන බවටත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම තවත් ගොඩක් විවේචන තිබුණා. නමුත් අපි ඒවට උත්තර දෙමින් යුරෝපීය කණ්ඩායමක් පවා පරාජය කරමින් අවසන් 16 වටයට සුදුසුකම් ලැබුවා.

අපිට තරගාවලිය ආරම්භ වෙද්දීත් සහභාගී වීම සම්බන්ධයෙන් තමයි වැදගත්කම තිබුණේ. අපේ කණ්ඩායම සහ අනිත් කණ්ඩායම් අතර පරතරය සෑහෙන වැඩියි. නමුත් අපි ඉතාම හොඳින් ක්‍රීඩා කළා. මේ දක්ෂතාවය සම්බන්ධයෙන් මට කණ්ඩායම ගැන ගොඩක් ආඩම්බරයි.

මාධ්‍යවේදියා :- දැන් ඔබට වයස අවුරුදු 38 ක්, ඔබට තාම තරගයේ විනාඩි 90 ක්‍රීඩා කරන්න පුළුවන්. තරග වලට ගොඩක් දුර ගමන් කරන්න වෙනවා. දිගටම පුහුණුවීම් කරන්නත් වෙනවා. ඔබ ඇත්තටම පිටසක්වල ජීවියෙක් ද?

ලියොනල් මෙසී :- ඇත්තටම ක්‍රීඩා සමාජ ලෝක කුසලානයේදී නම් තරගයක් වෙනුවෙන් අපිට යන්න තියෙන දුර සෑහෙන අඩුයි. ඒක නම් වාසනාවක්. නමුත් MLS එකේදි සහ CONCACAF චැම්පියන්ස් ලීග් තරගාවලියෙදී අපිට සමහර වෙලාවට තරගයට යන්න විතරක් පැය 7 ක් විතර ගමන් කරන්න වෙනවා. ඒක ශාරීරික වශයෙන් සෑහෙන මහන්සියි.

ඔබ හැම කෙනෙක්ම දන්න විදිහට මම දැන් 100% ක් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් නෑ. මම ආයෙ කවදාවත් උපරිම ලෙවල් එකට එයි කියලා හිතන්නෙත් නෑ. (සිනහසෙමින්) හැබැයි කිසිම මැසිවිලි නැගීමකින් තොරව මම මගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනවා. අපි හැමතිස්සෙම ඉදිරියට යන්න උත්සාහ කරනවා.