වසර 29කට පසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගලයේ සිදු වූ සුවිශේෂී වෙනස


සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 496ක් රැස් කළා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම ආරම්භ කළ අතර එහිදී වසර 29කට පසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයේ සුවිශේෂී වෙනසක් සිදුව තිබෙනවා.

ඒ ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ වසර 29කට පසුව ශ්‍රී ලංකාව වෙනුවන් දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ඉනීම ආරම්භ කිරීමයි.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සමගින් ළහිරු උදාර ශ්‍රී ලංකා ඉනීමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසියා.

මින් පෙර අවසන් වරට දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාව වෙනුවන් ටෙස්ට් ඉනීමක් ආරම්භ කොට ඇත්තේ 1995 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ඒ ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවති බොක්සිං දින ටෙස්ට් තරගයකදීයි.

එහිදී චන්දික හතුරුසිංහ සමගින් රොෂාන් මහානාම ආරම්භක පිතිකරුවන් ලෙසින් ශ්‍රී ලංකා ඉනීම අරඹා තිබුණා.