සිඩ්නි මැරතන්: ලොව ප්‍රධානතම 7 වැනි මැරතන් තරගය ලෙස උසස් වීමක්

 


ලොව සුපිරි මැරතන් තරග කවයේ හත්වැනි ප්‍රධාන තරගය ලෙස සිඩ්නි මැරතන් තරගය නම් කර තිබෙනවා.

මේ අනුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ලොව ප්‍රධානතම හා ගෞරවනීය මැරතන් තරගමාලාවේ හත්වැනි නගරය බවට පත්වනවා.

වසර 2025 සිට සිඩ්නි මැරතන් තරගය දකුණු අර්ධ ගෝලයේ ප්‍රථම ප්‍රධාන මැරතන් තරගය ලෙස උසස් වීමක් ලබන්නේ බොස්ටන්, නිව්යෝක්, චිකාගෝ, ලන්ඩන්, බර්ලින් හා ටෝකියෝ යන සුපරි මැරතන් තරග සමග එක්වෙමින්.

සිඩ්නි වරාය සහ නගරයේ සංකේතාත්මක ස්ථාන පසුකරන දැකුම්කලු තරග මාර්ගයේ පැවැත්වෙන මේ මැරතන් තරගය ආරම්භ වූයේ වසර ‘2000 ඔලිම්පික්’ ක්‍රීඩා උළෙලේ දායාදයක් ලෙසින්. එතැන් සිට මේ තරගය ඉතාමත් ප්‍රබෝධමත් දියුණුවක් ලබා තිබෙන්නේ පළමු වසරේදී ම ධාවකයින් 1200ක් තරගය නිම කරමින්. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී, වාර්තාගත 20,272 දෙනෙක් තරගය අවසන් කළ අතර ලෝකයේ ප්‍රධානතම මැරතන් තරගයක් ලෙස නම් කිරීම පිණිස පිට පිට දෙවැනි වතාවටත් සිඩ්නි මැරතන් තරගයේ තක්සේරුව සාර්ථක කර ගැනීමට එය උපකාරයක් වුනා.

ඔස්ට්‍රේලියා මලල ක්‍රීඩා ප්‍රධානී ජේන් ෆ්ලෙමිං මේ සාර්ථකත්වය සැමරුවේ, මෙය ඔස්ට්‍රේලියානු ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට හඳුන්වමින්.

සිඩ්නි මැරතන් තරගය ලොව ප්‍රධානතම මැරතන් ඉසව්වක් ලෙස උසස් කිරීමෙන් පසුව ලෝක ප්‍රධාන මැරතන් බලධාන් වන Abbott World Marathon Majors මේ තරගමාලාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වන අපේක්ෂක ක්‍රමවේදයේ සිටින්නේ කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) හා ෂැංහයි (චීනය) මැරතන් තරග. මේ මැරතන් තරග දෙකට 2026 හා 2027 වසරවලදී ලොව ප්‍රධානතම මැරතන් කවයට එක්වීමේ අවස්ථාව තිබෙන අතර ඒ සඳහා ඔවුන් වසර දෙකක තක්සේරු කිරීම ජය ගත යුතුව තිබෙනවා.

2025 සිඩ්නි මැරතන් තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අගෝස්තු 31 වැනිදා. නිව් සවුත් වේල්ස් රජයට අනුව ධාවකයන් 33,000ක් මේ තරගයට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

SOURCE: VG (Journalist)