ඉන්දියාවේ පැවති ටෙස්ට් තරග තුන ම නවසිලන්තය ජය ගැනීම එදා මෙදා තුර ඉතිහාසයට එක්වන ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ක්‍රිකට් තරගමාලා ජයග්‍රහණයක් බව ලොව ක්‍රිකට් විශාරදයන් ප්‍රකාශ කරනවා.
මෙය ඉන්දියාවේදී නවසිලන්තය වාර්තා කළ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගමාලා ජයග්‍රහණය යි.
නවසිලන්තය ඔවුන්ගේ විජයග්‍රාහී ගමන ආරම්භ කළේ වසර 36කට පසුව ඉන්දියානු භූමියේ ඔවුන්ගේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය වාර්තා කරමින්.
නවසිලන්තය ඔවුන්ගේ ගමන අවසන් කළේ 2012 වසරේ එංගලන්තය ජයග්‍රහණය කරමින් ඉන්දියාව ට ඔවුන්ගේ රටේදී ම අත්කර දුන් ටෙස්ට් තරගමාලා පරාජයෙන් පසුව පළමු වරට ඉන්දියාව ට ඔවුන්ගේ රටේදී පළමු ටෙස්ට් තරගමාලා පරාජයක් හිමිකර දෙමින්. වසර 2000දී හැන්සි ක්‍රොන්යෙගේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරග 2-0කින් පරාජය වෙමින් ඉන්දියාව ලැබූ whitewash (තරග සියල්ලෙන්ම පරාජය වීම) පරාජයෙන් පසුව ඉන්දියා කණ්ඩායමෙන් වාර්තා වූ එවැනි පළමු පූර්ණ තරගමාලා පරාජය මෙය වීම ද විශේෂත්වයක්.
මතකයේ තිබෙන ඉතාමත් වැදගත් ටෙස්ට් තරගමාලා ප්‍රතිඵලවලින් එකක් වන මෙහිදී නවසිලන්තය සියලු අභියෝග අභිබවා ගොස් මුම්බායි හි Wankhede ක්‍රීඩාංගණයේදී ඉන්දියාව පරාජය කරමින් 3-0ක අපූර්ව තරගමාලා පූර්ණ ජයග්‍රහණයක් හිමිකර ගත්තේ සත්කාරක කණ්ඩායම ඔවුන්ගේ ම රාජධානියේ පෙලහර පානු ඇතැයි අපේක්ෂා කෙරුනු තරග බිමේ.
තම රටේ දේශගුණික හා තණතීරුවල තත්ත්වයන් යටතේ මීට පෙර පැවති ටෙස්ට් තරගමාලා 18 ජයග්‍රහණය කරමින් පතුරුවා සිටි ඉන්දියාවේ ආධිපත්‍යය හමුවේ නවසිලන්තය එතරම් ප්‍රබල සටනක් දියත් කරනු ඇතැයි අපේක්ෂා නොකෙරුනේ එම කණ්ඩායම සංක්‍රාන්ති කාලයකට එළඹ සිටීම නිසා. කෙසේ වෙතත්, නවසිලන්තනුවන් මේ සටන ට සාර්ථකව මුහුණ දීමේ සූදානමින් සිටි අතර ඔවුන් ක්‍රීඩාවේ සෑම අංශයකින් ම ඉන්දියාව ට වඩා පෙරමුණේ සිටිමින් බැංගලෝර්, පූනෙ හා අවසානයේ මුම්බායි හි දී විස්මයජනක අයුරින් තරග ජයග්‍රහණය කළා. මේ පරාජය නිසා ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන තරගයෙන් ඉවතට විසිවීමට ද ඉඩ තිබෙනවා.
මේ තරගමාලා ජයග්‍රහණය ඔ්නෑම කණ්ඩායමක් ඔවුන්ගේ රටේදී හෝ පිටරටකදී වාර්තා කළ කදිම උත්සාහයන්ගෙන් එකක් බවට සඳහන් කරමින් නවසිලන්තය ට පැසසුම් ගලා එමින් තිබෙනවා. මේ ඉන්දියානු සංචාරයේදී ටොම් ලේතම්ගේ කණ්ඩායම ප්‍රදර්ශනය කළ ක්‍රීඩාව ආශ්චර්යමත් එකක් බවත් ඉන්දියාවත් දැන් පන්දුව කරකැවෙන තණතීරුවල ඉහළම ගණයේ දඟ පන්දුවලට එරෙහිව පිතිකරණයේදී අපහසුවෙන් දඟලන කණ්ඩායමක් බවට ලෝකය ඉදිරියේ පෙන්නුම් කර ඇති බවත් ප්‍රවීන ක්‍රීඩකයන් සමාජ මාධ්‍යයේ සටහන් තබමින් කියා සිටිනවා.
“ඉන්දියාවේදී ජය ගැනීම විස්මය ජනකයි. නමුත් තරගමාලාවකදී ඔවුන්ව සම්පූර්ණයෙන්ම අතුගා දැමීම අතිවිශිෂ්ටයි...” යනුවෙන් හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් ප්‍රකාශ කරනවා.
ඉන්දියාවේ මුල් පෙල පිතිකරුවන්ගේ තිබෙන දුර්වලතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට නවසිලන්ත දඟ පන්දු යවන්නන්ට හැකි වූ බව ද වෝන් පෙන්වා දෙනවා. බැංගලෝරයේදී අහස වලාකුළෙන් වැසුනු කාලගුණය යටතේ වේග පන්දු යවන්නන් උපරිමයෙන් ශිල්ප දැක්වූව ද, තරගමාලාවේ ඉතිරි කොටසේ තිබුනේ වෙනස් කතාවක්. පූනෙ හා මුම්බායි ටෙස්ට් තරගවලදී බිඳ වැටුනු ඉන්දියානු කඩුලු 40න් 37ක් ම ගොදුරු වූයේ දඟ පන්දුවට වූ අතර වේග පන්දු යවන්නන් දවාලුවේ රෝහිත් ෂර්මාව පමණයි.
“ඉන්දියාවටත් දැන් අනෙක් බොහෝ කණ්ඩායම් වගේම දඟ පන්දු ප්‍රහාරය හමුවේ අසරණව දඟලන පිතිකරුවන් පිරිසක් ඉන්නවා...” යනුවෙන් වෝන් කියනවා.
මේ වසරේ අග කාලයේ ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දියා කණ්ඩායමට නවසිලන්තය සමග වූ තරගමාලාව පෙරහුරුවක් වනු ඇති බවටයි අපේක්ෂාව වී තිබුනේ. නමුත් නවසිලන්ත ක්‍රීඩකයන් එම අවතක්සේරුවට දඬුවම් කළේ අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක යෙදී ෙඑතිහාසික ටෙස්ට් තරගමාලා ජයග්‍රහණයක් වාර්තා කරමින්. තරග තුනක් පුරා ම දක්ෂතාව පවත්වා ගැනීමේ නවසිලන්ත කණ්ඩායමේ මේ හැකියාව බොහෝ දෙනා අගැයීමට ලක් කරන්නේ රතු පැහැති පන්දුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැක්වූ ශ්‍රේෂ්ඨ වික්‍රමයක් ලෙසින්.
SOURCE: VG (Journalist)
Social Plugin