නිසි සමුගැනීමක් නොලද කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තය


"උඹට ආයෙ කවදාවත් කොදෙව් දූපත් වලට ක්‍රිකට් ගහන්න නම් වෙන්නෙ නෑ."

එක්දින සහ ටෙස්ට් පිටියේ ජාත්‍යන්තර ලකුණු 20 000 කට එහා ලබාගත්ත ශිව්නරීන් චන්ද්‍රපෝල් ට ඒ හැඟීම කොහොම හිතෙන්න ඇතිද?

අවුරුදු 20 කට වඩා කොදෙව් දූපත් මෙරුන් පැහැති වර්ණයෙන් සැරසුණ ශිව් ට බ්‍රයන් ලාරා පහු කරන්න තවත් අවශ්‍ය වෙලා තිබුණේ ලකුණු 87 ක් විතරයි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා විදිහට ශිව්නරීන් චන්ද්‍රපෝල් ගේ නම ඉහළින්ම ලියැවෙනවට කොදෙව් ක්‍රිකට් බලධාරීන් කැමති වුණේ නෑ.

ඒ ඇයි?

ශිව් කියන්නේ ඉන්දියන් කැරිබියන් මිශ්‍ර ක්‍රීඩකයෙක්. එහෙම කෙනෙක් ලාරා වගේ නියම කොදෙව් ජාන තියෙන නමක් පහු කරනවට බලධාරීන් කොහෙත්ම කැමති වෙන්නෙ නෑ.

චන්ද්‍රපෝල් ඒ වෙද්දි නිමාවුණ එංගලන්ත සහ දකුණු අප්‍රිකා තරගාවලි ද්විත්වයේම ලබාගෙන තිබුණේ එක් අර්ධ ශතකයක් විතරයි. ඒකත් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට අතිරේක වාසියක් වුණා.

අවුරුදු 21 පුරාවට ටෙස්ට් තරග 164 ක්, එක්දින තරග 268 ක් සහ පන්දුවාර 20 තරග 22 ක් ක්‍රීඩා කළ ඔහුට සමු ගැනීමේ තරගයක් ලබා දෙන්නවත් කොදෙව් බලධාරීන් අකමැති වුණා.

ලකුණු 87 ක් කියන්නේ ශිව් ට එක ඉනිමකින් ගහන්න පුළුවන් ලකුණු ගණනක්. අන්තිමට දැඩි හිත් කලකිරීමෙන් ශිව්නරීන් චන්ද්‍රපෝල් ක්‍රිකට් පිටියට සමු දුන්නා.

ටෙස්ට් ලකුණු 11 867 ක් ඔහු රැස් කරන්නේ ඉනිමක සාමාන්‍යය 51.37 ක අගයක රඳවාගෙන. ඒක ලාරාගේ සාමාන්‍යට අතේ දුරින් තිබුණේ.

ශිව්නරීන් චන්ද්‍රපෝල් කියන්නේ කවදාවත් කොදෙව් ක්‍රිකට් පිටියේ ඉහළින්ම කියවුණ නමක් නෙමෙයි. බ්‍රයන් ලාරා ගේ යෝධ සෙවනැල්ලට ඔහු වැහිලා හිටියා.

එක්දින පිටියෙත් ශිව් ලකුණු 8000 කට එහා රැස් කරන්නේ සාමාන්‍යත් 41 කට වඩා වැඩි අගයක පවත්වා ගනිමින්. මේ සියල්ලටම අදාල ගෞරවය ඔහුට ලැබුණද කියන එක අදටත් ප්‍රශ්නයක්.

Chandrapaul ව එක් වතාවක් ICC නිල ෆේස්බුක් පිටුවේ Chndrawall විදිහට හඳුන්වන්නෙත් ඔහු විකට් එක වහගෙන දවසක් වුණත් බැට් කරන නිසා.

"ඔහුට අවශ්‍ය සමු ගැනීමක් ලැබිය යුතුයි කියලා මම තාම විශ්වාස කරනවා." බ්‍රයන් ලාරා පවා එහෙම කියන්නේ චන්ද්‍රපෝල් කොදෙව් ක්‍රිකට් වෙනුවෙන් කරපු දේ දන්න නිසා.

අද ශිව්නරීන් චන්ද්‍රපෝල් තමන්ගේ 51 වෙනි උපන්දිනය සමරනවා.

(උපුටාගැනීම - Pro Sports ෆේස්බුක් පිටුවෙනි)