ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් පිලෙන් එක්දින වාර්තාවක්


දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ මැකේහිදී පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර තරගයේදී, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සිය එක්දින ඉතිහාසය තුළ වාර්තා කළ දෙවන ඉහළම ලකුණු පුවරුව නිර්මාණය කිරීමට සමත් විය.

මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 431ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් එක්දින තරගයකදී මීට වඩා ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් වන අතර, එය 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිවම ලබාගත් ලකුණු 434 වේ.

ඊයේ වාර්තා වූ මෙම ලකුණු 431, සමස්තයක් ලෙස එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමකදී රැස්කළ නවවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වීම විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කරමින් පිතිකරුවන් තිදෙනෙකුම ශතක වාර්තා කිරීම කැපී පෙනුණි. එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 142ක් රැස් කළ අතර, කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 118ක් සහ නායක මිචෙල් මාෂ් ලකුණු 100ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීය.