CCC පිළට අවසන් තරගයේ දොරටු විවර වෙයි! සොනාල්ගෙන් හා පවන්ගෙන් අගනා පිතිහරඹයක්!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර්සමාජ එක්දින තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගය ඊයේ කොළඹ CCC පිටියේදී පැවැත්වුණා.

කාසිය වාසිය දිනූ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කළා

එම තීරණයට කදිම පිළිතුරක් ලබාදෙමින් පළමුවෙන් පන්දුවට පහරදුන් CCC ක්‍රීඩකයන් පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂ පන්දු 72කින් නොදැවී ලකුණු 83ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත විය.

පවන් රත්නායක පන්දු 75කින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 63ක් රැස්කිරීමට සමත් වුණා.

ටැමිල් යූනියන් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 52ට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට පන්දුවාර 41 පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 241ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සිතාර හපුහින්න ලකුණු 76ක් ද ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 56ක්ද රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී CCC පිල වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ කමිදු මෙන්ඩිස් ලකුණු 43ට කඩුලු 4ක් ද විශ්ව ප්‍රනාන්දු සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින්ද දවාගැනීමට සමත් වුණා.

ලකුණු 68ක විශිෂ්ඨ ජයක් ලැබූ කොළඹ ක්‍රීඩා සමාජය අන්තර්සමාජ එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.