ජඩේජා හා සුන්දර් ඉන්දියාවේ ගෞරවය බේරයි


සංචාරක ඉන්දියාව එංගලන්තයට එරෙහිව පැවති සිව්වන ටෙස්ට් තරගය ඊයේ(28) ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වුණා.

පළමු ඉනිම සඳහා විශාල ලකුණු පුවරුවක් ගොඩනගමින් තරගයේ වැඩි වාසි එංගලන්තය අත් කරගෙන තිබුණද සිය දෙවැනි ඉනිමේදී ඉන්දීය මැදපෙළ පිතිකරුවන් දැක් වූ දක්ෂතාවය හේතුවෙන් එංගලන්තයට තරගය ජය ගැනීම සඳහා තිබූ අවස්ථාව අහිමි විය.

දෙවන ඉනිමේදී ලකුණක් හෝ ලබා ගැනීමට පෙර කඩුලු දෙකක් අහිමි වුවද, ඉන්දියාව ලකුණු 311කින් එංගලන්තයට වඩා පසුපසින් සිටියත් නොසැලී ක්‍රීඩා කරනු ලැබුවා.

ඔවුන් සිය දෙවැනි ඉනිමේදී සැසි වාර පහකට වැඩි කාලයක් පුරා තවත් කඩුලු දෙකක් පමණක් අහිමි කර ගනිමින් පන්දුවට පහර දුන් අතර, ඕල්ඩ් ට්‍රැෆෝඩ් හිදී අවසන් දිනය කඩුලු 4කට ලකුණු 425ක් ලෙස අවසන් කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඉන්දීය නායක ශුබ්මන් ගිල් මෙම තරගයේදීද ශතකයක් ලබා ගත් අතර, එය මෙම තරගාවලියේ ඔහුගේ සිව්වන ශතකයයි.

එමෙන්ම, රවීන්ද්‍ර ජඩේජා හා වොෂින්ටන් සුන්ර්ද නොදැවී පිළිවෙලින් ලකුණු 107ක් හා ලකුණු 101ක් රැස් කිරීමට සමත් වුණා.

එංගලන්තය පන්දුවට පහරදීමෙන් තම උපරිමය සිදු කළ අතර, පළමු ඉනිමේදී ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් ලකුණු 669ක් වාර්තා කළා.

තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී 31 වැනි බ්‍රහස්පතින්දා ආරම්භවීමට නියමිතයි.