ශුබ්මන් ගිල්ට ලොකු වගකීමක් පැවරීමට සැරසෙයි



රෝහිත් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුවන ඉන්දීය ටෙස්ට් නායකත්වය සඳහා ශුබ්මන් ගිල් පත් කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක අජිත් අගාකර්ගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව 25 හැවිරිදි ශුබ්මන් ගිල් ටෙස්ට් නායකයා ලෙස නම්කිරීමට වැඩි කැමැත්තකින් පසුවන බවයි.

මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

රෝහිත් ශර්මා ක්‍රීඩා නොකළ පසුගිය ටෙස්ට් තරගවලදී ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ ජස්ප්‍රිට් බුම්රාට නායකත්වය හිමිවනු ඇති බව මින් පෙර වාර්තා විය.

නමුත් එළඹෙන ටෙස්ට් ලෝක ශූරතාවලිය අතරතුර තරග කිහිපයකදී ඔහුව විවේක ගැන්වීමට නියමිත බැවින් ශුබ්මන් ගිල් පිළිබඳව සලකා බැලීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ටෙස්ට් නායකයා ලෙස ගිල් පත් කරනු ලැබුවහොත්, ඔහුගේ පළමු වගකීම බවට එංගලන්තයේ දී පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය පත්වෙයි.

ගිල් මින් පෙර ටෙස්ට් හෝ එක්දින තරග සඳහා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදී නොමැති නමුත් විස්සයි20 තරග පහකදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබේ.

වයස අවුරුදු 21දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් ගිල්, මේ වනවිට ඉන්දියාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 32කට ක්‍රීඩාකර ඇත.

එහිදී ලකුණු 1893ක් රැස්කර ඇති ගිල් ශතක 5ක් හා අර්ධ ශතක 7ක් වාර්තා කර තිබේ.