ඩිවිලියර්ස්ගේ වසර 10ක් පැරණි වාර්තාවක් සම කිරීමට මැතිව් ෆෝඩ් සමත් වෙයි


ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගත්ම අර්ධ ශතකය වාර්තාකර සිටි දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ගේ වාර්තාව සමකිරීමට කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ් ඊයේ (23) සමත් විය.

අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්හිදී පැවති මෙම තරගයේදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ෆෝඩ් පන්දු 19කින් ලකුණු 58ක් රැස්කළේය.

ඔහුට සිය අර්ධ ශතකය රැස් කිරීම සඳහා වැය වූයේ පන්දු 16ක් පමණි.

ඔහු මෙලෙස සමකරන ලද්දේ ඒ.බී.ඩිවිලියර්ස් විසින් 2015 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දු 16කින් අර්ධ ශතකයක් රැස් කර පිහිටුවා තිබූ වාර්තාවකි.

ජොහැන්නස්බර්ග්හිදී පැවති එම තරගයේදී ඩිවිලියර්ස් පන්දු 16කින් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට අමතරව, සිය ඉනිම අවසන් කළේ පන්දු 44කින් ලකුණු 149ක් ලබා ගනිමිනි.