වැරද්ද කරන සතා මොකා වුණත් තලන්න ආස හිතෙන හමක් තිබීම මරු ද...?

 වැරද්ද කරන සතා මොකා වුණත් තලන්න ආස හිතෙන හමක් තිබීම මරු ද...?



ඔස්ට්‍රේලියාව ඉදිරියේ ශ්‍රී ලංකාව ලද ටෙස්ට් පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමක් ලද දරුණුම ටෙස්ට් පරාජය ය.මේ පරාජයට වගකිව යුතු වන්නේ කවුද යන්න පිළිබදව දැන් අදහස් විසිරෙමින් ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් නිල මඬුල්ල ඉවත්ව යාමෙන් මේවා ජයග්‍රහණ බවට පෙරළෙනු ඇත.


මැලේසියාවේදී අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කාන්තා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දියාව හමුවේ පරාජය විය.එවිට මතු වූ තර්කය වූයේ ශ්‍රී ලංකාව මැලේසියාව සහ පිරිහී තිබෙන කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් පරාජය කළ ද,ඉන්දියාව පමණක් නොව ඔස්ට්‍රේලියාව වැනි රටවල් ද පරාජය කළ නොහැකි බවය.හැබැයි ඒ 19 න් පහළ කෙල්ලන් ඒ වන විටත් ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත කණ්ඩායම් ඒ පරිසරය තුළත්,ලංකාව තුළත් පරාජය කර ඒ ආකාරයේ අත්දැකීම් ලබා අවසන්ය.අවසානයේ ඔවුන් ඔස්ට්‍රේලියාව පරාජය කළේය.


එවිට කතාව වෙනස් විය.මොණරාගල බට්ටිගේ සිට දුෂ්කරතා විඳි කෙල්ලන් කැපවීමෙන් ලැබූ ජයක් බවට එම කතාව අලංකාරවත් ලෙස ඉදිරිපත් වන්නට විය.ඒ සඳහා වූ වැඩ සැළසුම් කවරේද යන්න කිසිවක් සාකච්ඡාවට ගැනෙන්නේ නැත.එය කෙල්ලන්ගේ ජයකි.පරාජය වුවහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් හී වගකීම්වලට යටත්ය.


ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම ක්‍රීඩා පණත ප්‍රකාරව ගත්විට ද තෝරා ගන්නා කණ්ඩායම සඳහා වගකිව යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාය.ක්‍රීඩා අමාත්‍යවරයා වැරදි තේරීමක් සිඳු කරන බව මෙහි අදහස නොවන්නේය.තේරීම් කමිටුවට සුදුසු කවුරුන්ද යන්න අවසානයට තෝරා දෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාය.එය වගකීමෙන් බැදී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාටය.ඔවුන්ට අවශ්‍යය පහසුකම් සැපයීම සිඳුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්ය.


සමහර කාල වල කණ්ඩායම් නායකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මෙන්ම ආණ්ඩුවේ දේශපාලනය සමඟද තද බැදීම් තිබිණ.එවිට මේ ව්‍යහුයන් තුනම එකට සිට එක උවමනාවකින් වැඩ කරපු ඉතිහාස ද හමුවෙයි.එ් තත්ත්වය එක මිටට සියල්ලම වැනි මේ කාලයේ ජනප්‍රිය තේමාවකින් සළකා බැලුවොත් මරු වුව ද,ඉතිහාසයේ එය සිඳු වී ඇත්තේ ක්‍රිකට්මය උවමනාවකින් නොවන පුද්ගල අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ රුචිකත්වය සහිතවය.එතනින් පසුව එතරම්ම අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පත් වූ බවක් පෙනෙන්නට නැති අතර ඊට පසුව හමුවන්නේ පරිපාලනයේ මූල්‍යමය කටයුත්වලට දේශපාලන නායකත්වය විසින් පත් කරන අතුරු කමිටු හරහා හොම්බ දැමීමය.


එහි නරකම තත්ත්වය ලංකාවේ ලෝක කුසලානය පැවති සමයේ දකින්නට ලැබුණු අතර එහි දී ලෝක අනු සූරතාවය දිනා ගැනීම හැරෙන්නට සිඳු වූ දේ සියල්ල කළු පැල්ලම්ය.ගිණුම් ලෝක කුසලානයෙන් පසුව වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයට පත් විය.ගිණුම් සම්බන්ධ මෘදුකාංග ක්‍රිකට් ආයතනයෙන් අතුරුදහන් විය.වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග තහනම් උත්තේජක චෝදනාවට ලක් වූ අතර එවතට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියාට තිබුණේ දැණුම රැක ගැනීමට වඩා රජුන් පිනවීමේ උවමනාව බැවින්,තරංගගේ ගැටළුව පිටුපස සිටියේ එවකට සිටි රාජකීය වෛද්‍යවරයාය.


ටෙස්ට් තරගය සඳහා කණ්ඩායම නම් කිරීමේදී සිඳු වී තිබෙන දේ අපැහැදිළිය.යම් ආකාරයකට එම තේරීම් සඳහා පාදක වූ කාරණා වෙනස් වූයේ නම් ප්‍රතිපලය වෙනස් වෙන්නට තිබුණු බවට උපකල්පනය කිරීම වැරදි නැත.එසේ සිතන්නේ කණ්ඩායම් සංයුතිය දෙස බලා,ගත හැකිව තිබුණු ප්‍රයෝජන නොගත් නිසාය.උදාහරණයකට ලකුණු 654 ක් වන තෙක්ම පන්දු යවන්නන් සිව් දෙනෙකු යොදා ගැනීම හොඳම උදාහරණයකි.ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා දෙවන ඉණිමේදී පරාජය වන ශ්‍රී ලංකාවට එරෙහිව ධනංජය ද සිල්වා සහ කුසල් මෙණ්ඩිස් අතර ලකුණු 65 ක සබඳතාවය ඇති වෙද්දී පිතිකරුවන්ගේ රිද්මය සහ අවධානය බිඳිනු පිණිස ට්‍රෙවිස් හෙඩ් පන්දු යැවීම සඳහා කැදවීම එක උදාහරණයක් ලෙස ගත හැකිය.


ධනංජය ඒ දේ නොකළේ ඇයි යන්න ප්‍රශ්නකාරීය.තරගයට පෙරාතුව ධනංජය මෙන්ම කමිඳු ද සිටින්නේ ආබාධ සමඟ බව ප්‍රකට විය.ඒ තත්ත්වය සියයට සියයක් සුව නොවී තරගයට ඉදිරිපත් වීම නිසා ඔවුන් පන්දු යවන්නට නොහැකි තත්ත්වයක සිටියේද යන්න හෝ ඇන්ජලෝ මැතිවිස් වැන්නෙක් පන්දු ඕවර් කිහිපයක්වත් නො‘යැවීම ද ගැටළුකාරී නැද්ද? තරගය ඇසුරෙන් මතු විය යුතු විවේචන ඒවා ය.තරගයේ තීරණයට අදාළ කාරණා ද ඒවාය.

එවැනි තත්ත්වයක පසු වූයේ නම් ධනංජය සහ කමිඳු වෙනුවට අනූෂ සොනාල් යොදවන්නට තිබිණ.පිතිකරුවෙක් හැටියට ලහිරු උදාර කණ්ඩායමට ගෙන ඒමේ හැකියාවද තිබිණ.එසේම සුළු පසුබෑමකින් පසුව කණ්ඩායමට වද්දා නොගන්නා තත්ත්වයට පත් කර තිබෙන නිශාන් මධුශ්ක සංචිතයේවත් නැත.මේ කාරණා පරාජය තේරුම් කමිටුවේ ගිණුමට බැරි කිරීම පිණිස නොවේය.එහෙත් තෝරන කමිටුව හෝ පිටියට බසින ක්‍රීඩකයින් නොවන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මේ පරාජයන්වල චෝදනාව යොමු කිරීමෙන් අදාළ වරදේ හිමිකාරීත්වය ආරක්ෂා වීම මඟින් ක්‍රිකට් ප්‍රගමනයට අදාළ කරුණු සාකච්ඡාවෙන් බැහැර නොවන්නේ ද යන්න සිතා බැලිය යුතුය.


ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් වන ගැටළු කවරක් විය හැකිද? කණ්ඩායමට පහසුකම් නොදීම,දීප ව්‍යාප්ත ලෙස ක්‍රිකට් සඳහා පහසුකම් සම්පාදනය කරමින් අලුත් ක්‍රීඩකයින් නිර්මාණය කිරීමට පහසුකම් සපයන්නේ නැති වීම ආදාළ ලෙස පරිපාලන වගකීම් ගොනු කර ඒවා අතරින් නොසළකා හරින ලද හෝ නොතකා හරින ලද කරුණු විමසා විවේචනය කිරීම ක්‍රිකට් පරිපාලනයට එරෙහි විරෝධයේ හැඩය විය යුතුය.එසේත් නැතිනම් එකම දේශපාලන පෙකණිවැලකින් බැඳුණු සියලු තීරණ ගන්නා පුද්ගල කණ්ඩායමක් ඇසුරේ සිඳුවන ක්‍රියාන්විතයක් බවට ක්‍රිකට් පත්ව තිබේනම් (එවැනි කාල තිබිණ) ක්‍රිකට් ක්‍රීඩා පිටියේ වැරදි සඳහා ක්‍රිකට් පරිපාලනයට තැලීම වැරදි නැත.


එහෙත් මේ මොහොත ඊට වඩා වෙනස්ය.කුමන සතා වැරදි කළත් තඩි බාන්නට එක් සත්ව හමක් ලෙස ක්‍රිකට් පරිපාලනයම තෝරා ගැනීම සිඳු වෙයි.ඒ නිසා වැරදි කරන සතා නිවැරදි වන්නේ නැත.මන්ද වරදේ ප්‍රතිපලයක් ලෙස තමන්ට හානියක් නොවන බවත්,ඒ වෙනුවෙන් පහර දීමට ආසා හිතෙන අන්දමට සකස් කළ හමක් ඇති බවත් වැරදි කරන්නෝ දනිති. මේ හමට ඇති ආසාව පහළ වූවක් නොවේය.එය නිර්මාණය කළ එකක්ය.ඒ නිර්මාණය ආකර්ශණිය විලාසිතාවක් වූ පසු එයම භාවිතයට ගැනීම වෙනුවට වෙනත් මාර්ගයක සිතීම,වැඩ කිරීම දුෂ්කරය.හැබැයි ඇත්ත යනු දුෂ්කර ක්‍රියාවක ප්‍රතිපලයක් ලෙස මතුව පැමිණිය යුතු එකකි

SOURCE: NMR (Journalist)