කෙන්යාවේ චෙප්නිඇටෙච් ලෝක වාර්තාව මකා දමමින්
කෙන්යාවේ රූත් චෙප්නිඇටෙච් (Ruth Chepngetich) චිකාගෝ මැරතන් තරගය ඉරිදා ජයග්රහණය කළේ කාන්තා මැරතන් ලෝක වාර්තාව ද මකා දමමින් වීම විශේෂත්වයක්.
තිස් හැවිරිදි ඇය මේ ලෝක වාර්තාගත ජයග්රහණය හිමිකර ගත්තේ පැය 2යි මිනිත්තු 9යි තත්පර 57ක කාලයක් සටහන් කරමින්. මේ අනුව චෙප්නිඇටෙච් පැය 2යි මිනිත්තු 10කට අඩුවෙන් මැරතන් තරගයක් ධාවනය කළ ලොව පළමු කාන්තාව බවට ඉතිහාසගත වුනා.
ඉතියෝපියාවේ ටිගිස්ට් අසේෆා (Tigist Assefa)ගේ ලෝක වාර්තාව මිනිත්තු දෙකකට ආසන්න කාලයකින් බිඳ දැමීමට චෙප්නිඇටෙච් සමත් වුනා. අසේෆා කළින් වාර්තාව පිහිටුවූයේ 2023 වසරේ බර්ලින් මැරතන් තරගය පැය 2යි මිනිත්තු 11යි තත්පර 53කින් ජයග්රහණය කරමින්.
රූත් චෙප්නිඇටෙච් ඉරිදා ලබා ගත්තේ චිකාගෝ හි ඇයගේ තෙවැනි ජයග්රහණය. 2022 වසරේදී ඇයට ඇගේ රටේ ම Brigid Kosgeiගේ එදා ලෝක වාර්තාව බිඳ හෙලීම මඟහැරුනේ තත්පර 14කින්.
කාන්තා මැරතන් වේගවත්ම කාලයන් පහෙන් හතරක් ම පසුගිය හය වසර තුළ වාර්තා වී තිබෙන්නේ සමතලා වූ චිකාගෝ මැරතන් තරග මාර්ගයේ.
“මට දැනෙන්නේ ඉමහත් සතුටක්. මට මා ගැන ආඩම්බරයි. මේ ජයග්රහණය මගේ සැබෑ වූ සිහිනයක්” යනුවෙන් 2019 ලෝක මැරතන් ශූරිය ද වන චෙප්නිඇටෙච් පැවසුවා.
“ලෝක වාර්තාව ගැන සිතමින් මම ගොඩක් මහන්සි වුනා. දැන් මම එය ඉටු කර ගත්තා. ලෝක වාර්තාව දැන් ආපසු කෙන්යාව ට ඇවිත් තිබෙනවා. මම මේ ලෝක වාර්තාව කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) ට වෙන් කරනවා යනුවෙන් චෙප්නිඇටෙච් ප්රකාශ කළේ පසුගිය වසරේ චිකාගෝ මැරතන් පිරිමි තරගයේදී නව ලෝක වාර්තාවක් බිහි කළ ඇගේ ස්වදේශිකයා මතක් කරමින්. කිප්ටම් 24 වැනි වියේ පසුවෙමින් සිටියදී සිදුවූ මාර්ග අනතුරකින් පෙබරවාරියේදී මිය ගියා.
රූත් චෙප්නිඇටෙච් මෙවර චිකාගෝ කාන්තා මැරතන් තරගයේ සටහන් කළ කාලය කොතරම් වේගවත් ද කිවතොත් එහි පිරිමි තරගයේදී ඇයට වඩා වේගයෙන් ධාවනය කර තිබුනේ ක්රීඩකයන් නව දෙනෙක් පමණයි.
තරගයේ කිලෝමීටර් 10 සලකුණේදී චෙප්නිඇටෙච් සෙසු සියළුම තරගකාරියන් අභිබවා ඉදිරියට ගොස් සිටි අතර ඇගේ අතින් දුරක රැඳී සිටීමට සමත්ව සිටියේ ඉතියෝපියාවේ සුටුමි අසේෆා කෙබීඩි (Sutume Asefa Kebede) පමණයි.
අවසානයේ කෙබීඩි පැය 2යි මිනිත්තු 17යි තත්පර 32ක කාලයක් සටහන් කරමින් දෙවැනියට තරගය අවසන් කළේ චෙප්නිඇටෙච් ට වඩා මිනිත්තු අටකට ආසන්න කාලයක් පිටුපසින්. කෙන්යාවේ අයිරීන් චෙප්ටායි (Irine Cheptai) ඊට තවත් තත්පර 20කට පසුව තෙවැනියට තරගය අවසන් කළා.
පිරිමි තරගයේ ජය කෙන්යාවේ ජෝන් කොරිරි ට
චිකාගෝ පිරිමි මැරතන් තරගයේ ජයග්රාහකයා වූයේ ද කෙන්යානුවෙක්. ඔහු කෙන්යාවේ ජෝන් කොරිරි (John Koriri). කොරිරි ගත් කාලය පැය 2යි මිනිත්තු 2යි තත්පර 43ක් වූ අතර මෙය කිප්ටම්ගේ පසුගිය වසරේ ලෝක වාර්තාව වූ පැය 2යි තත්පර 35 ට පසුව චිකාගෝ මැරතන් තරගයක සටහන් වූ දෙවැනියට වේගවත්ම කාලය යි.
ඉතියෝපියාවේ හුසෙයිඩින් මොහමඩ් ඊසා (Huseydin Mohamed Esa) මිනිත්තු දෙකක් කොරි ට පිටුපසින් දෙවැනියට තරගය නිමා කළ අතර කෙන්යාවේ අමොස් කිප්රුටෝ (Amos kipruto) 2:04:50කින් තෙවැනි ස්ථානයට පත්වුනා.
SOURCE: VG (Journalist)
Social Plugin