පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

 

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පුහුණු කරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 33 ක ජයක් හිමි වුණා.ඉකුත් තරගවලදි නිරන්තරයෙන් ශ්‍රී ලංකා ජයග්‍රහණ පිටුපස සිටි චමරි අතපත්තු,හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න යන තිදෙනාගෙන් හර්ෂිතා පමණක් ලකුණු 29 ක් ලැබුවත්,ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම ශක්තිය පෙන්වමින් කඩා වැටෙන්නට නොදීමට තවත් බල කණු නිර්මාණය වී ඇති බව පසක් කළ හසිනි පෙරේරා (43) සහ නිලක්ශිකා ද සිල්වා (30) සිව්වන කඩුල්ලට වේගවත් ලකුණු 58 ක සබඳතාවයක් ගොඩ නඟමින් පන්දු ඕවර් 20 නිමාවේ ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 7 ලකුණු 143 ක් දක්වා ඔසවා තබන්නට සමත් වුණා.

මෙහිදී බංගලාදේශයේ ඒ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාවට පැමිණ,අඩු අත්දැකීම් ඇති ශ්‍රී ලංකා ඒ ක්‍රීඩිකාවන්ට බැට දුන් බොහෝ ක්‍රීඩිකාවන් බංගලාදේශ ජාතික කණ්ඩායම සමඟ මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙතින් පරාජය වීම ද කැපී පෙණුනා.

බංගලාදේශ පිළිතුරු ඉණිමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් නව දෙනෙක් යොදා ගනිමින් චමරි අතපත්තු සිය ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලබා දෙන්නට කටයුතු කළා.ලාබාල ශෂිනි ගිම්හානි තරගයේ පළමු පන්දු ඕවරයේ දී හොඳින් පන්දු යවමින් කඩුල්ලක් ලබා ගත්තත්,දෙවන පන්දු ඕවරයේ ඇය අතින් පන්දුව ගිලහී බිම පතිත නොවී දෙවරක්ම පිතිකරුගේ ඉහළ පෙදෙසට යොමු වීම නිසා නිපන්දු සමඟ අතිරේක ලකුණු 10 ක් ද සමඟ එම ඕවරයේ ලකුණු 18 ක් ප්‍රතිවාදීන්ට එකතු වුණා.එසේම ඇයව පන්දු යැවීමෙන් ඉවත් කරන්නටත් විනිසුරුවන් කටයුතු කළා.

පන්දු යවන්නියන් අතරින් වඩාත් කැපී පෙණුනේ සුගන්ධිකා කුමාරියි.ඇය ලකුණු 8 ට කඩුලු 3 ක් දවා ගත්තා.ඉනෝශි ප්‍රියදර්ශනී කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 11 ක් ලබා දෙමින්.කලකට පසුව ජාත්‍යන්තර පිටියට පිවිසි ඉනෝකා රණවීර ද එක් කඩුල්ලක් ලබා ගනිමින් නැවත සම්ප්‍රාප්තිය හොඳින් සමරනු ලැබුවා.කඩුලු රකින්නී අනුශ්කා සංජීවනී කඩුලු බිද දැමීම් තුනකට දායක වෙමින් ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය ඉදිරියේ සිමාවෙන් පිටතට ඇවිත් පන්දුවට පහර දීමේ අවධානම සෙසු කණ්ඩායම්වලට ද අනතුරු හැඟවීමක් ලෙස දන්වා සිටියා.

තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.

https://es.pn/3XINyYn

SOURCE: NMR (Journalist)