පෙම්වතා විසින් ගිනිතැබූ උගන්ඩා ක්‍රීඩිකාව මිය යයි

 

පෙම්වතා විසින් ගිනිතැබූ උගන්ඩා ක්‍රීඩිකාව මිය යයි


මෑත කාලයේ සිට දුක්බර සිදුවීම් වාර්තා වන මැරතන් ධාවන ලෝකයේ අලුත්ම ඛේදවාචකයට භාජනය වී සිටි උගන්ඩාවේ මැරතන් ක්‍රීඩිකාවක වන රෙබෙකා චෙප්ටෙගේ (Rebecca  Cheptegei) ඇයගේ හිටපු පෙම්වතෙකු විසින් ශරීරයට පෙට්‍රල් දමා ගිනිතැබීමෙන් පසුව අද මිය ගියා. බරපතළ තත්ත්වයෙන් පසුවූ මේ ක්‍රීඩිකාව කෙන්යාවේ රෝහල්ගතව සිටියේ ශරීරයේ සියයට 80ක ප්‍රමාණයක් පිළිස්සී ගොස් තිබියදී.

ඇගේ නිවසේ ඇතිවූ ගෘහස්ථ ආරවුලක් යැයි කියනු ලබන සිද්ධියකදී ඇයට ගිනිතැබූ ඇගේ පෙම්වතා වන කෙන්යාවේ Dickson Ndiema Marangach ද මේ පිළිස්සීමෙන් තුවාල ලබා සිටිය ද ඔහුට තිබෙනේ සියයට 30ක පිළිස්සුම් තුවාල පමණක් බව පැවසෙනවා. 

පසුගිය මාසයේ පැරිස් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කළ 33 හැවිරිදි චෙප්ටෙගේ තරගය අවසන් කළේ 44 වැනි ස්ථානයෙන්. කෙන්යාවේ පුහුණු වන අතරතුර රැඳී සිටීම පිණිස මේ උගන්ඩා දුර දිවීමේ ක්‍රීඩිකාවට කෙන්යාවේ ද නිවසක් තිබෙනවා.

ඇයගේ උදරයට හා ශරීරයේ පහළ කොටසට සිදුව තිබෙන බරපතළ තුවාල බැක්ටීරියා ආසාදනයෙන් පැසවීමකට ලක්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසා තිබුනා. 

උගන්ඩාව සහ කෙන්යාව යන රටවල් දෙක ම මේ ක්‍රීඩිකාව රැකබලා ගැනීම සඳහා රාජ්‍ය මට්ටමෙන් මැදිහත් වුනා. කෙන්යාවේ Eldoret නගරයේ රිෆ්ට් වැලී (Rift Valley) රෝහලේ සිට ඇයව ගුවන් මගින් නයිරෝබි නුවරට විශේෂ සත්කාර පිණිස රැගෙන ඒමට රෝහල් බලධාරීන් දැන් වෙහෙසෙමින් සිටියා.

චෙප්ටෙගේ ගේ හිටපු පෙම්වතා ඇයගේ නිවසේදී ඇයට ගිනිතබනු ඇයගේ එක් දියණියක් දැක තිබෙනවා. “මම අම්මාව බේර ගන්න එතනට දුවන්න උත්සාහ කරද්දී ඔහු මට පයින් ගැහුවා” යනුවෙන් දියණිය ප්‍රකාශ කර තිබෙනවා.

“මම වහාම උදව් ඉල්ලා කෑගැහුවා. ඒක ඇහිලා දුවගෙන ආපු අසල්වැසියෙක් වතුර දාලා ගින්න නිවන්න උත්සාහ කළා. නමුත් ඒක කරන්න බැරිවුනා” යනුවෙන් නම හෙළි කර නැති දියණිය කියා තිබෙනවා.

චෙප්ටෙගේ ට දියණියන් දෙදෙනෙකු සිටින බවට වාර්තා වනවා.

චෙප්ටෙගේ ගේ පියා දේශීය මාධ්‍යට කියා තිබෙන්නේ තමාගේ දුව උගන්ඩාවේ පුද්ගලයෙකු සමග විවාහ සිටින බව හා ඔහු මේ අවස්ථාවේ කෙන්යාවේ නැති බව යි.

චෙප්ටෙගේ ට සිදුවූ මේ අමානුෂික ප්‍රහාරය වාර්තා වන්නේ කෙන්යාවේ උපත ලද ක්‍රීඩක Damaris Mutua රිෆ්ට් වැලී හි ජනප්‍රිය දුර දිවීමේ ක්‍රියාකාරී පෙදෙසක් වන Iten හි දී ඝාතනය කර දෙවසරකට පසුව.

2021 වසරේදී, වාර්තාලාභී කෙන්යානු ක්‍රීඩිකා 25 හැවිරිදි Agnes Tirop ඇගේ නිවසේදී පිහියෙන් ඇන මරා දමා තිබිණි. ඇගේ මලසිරුර සොයා ගැනුනේ Iten හි පිහිටි ඇගේ නිවසින්. ඇගෙන් වෙන්ව සිටි සැමියා මේ මරණය සම්බන්ධයෙන් දැන් නඩු විභාගයකට පෙනී සිටින අතර ඔහු තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2023 වසරේ ජනවාරි මාසයේ කෙන්යාවේ ජාතික සංඛ්‍යාන කාර්යාංශය නිකුත් කළ අලුත්ම දත්ත අනුව රටේ කාන්තාවන්ගෙන් සියයට 34ක් වයස අවුරුදු 15 සිට ශාරීරික හිංසනයට ලක්ව ඇති බවට සොයා ගෙන තිබෙනවා.  SOURCE: VG (Journalist)