තරග පාවාදුන් චීන පාපන්දු ක්‍රීඩකයන් 43කට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
තරග පාවාදුන් චීන පාපන්දු ක්‍රීඩකයන් 38 දෙනෙකුට හා පාපන්දු සමාජ නිලධාරීන් 5 දෙනෙකුට චීනයේ පාපන්දු බලධාරීන් විසින් ජීවිතාන්තය දක්වා තරග තහනම් පනවා තිබෙනවා.
චීන පාපන්දු ක්‍රීඩාවේ සිදුවන දූෂණය වැළැක්වීම පිණිස දෙවසරක් තිස්සේ කරන ලද පරීක්ෂණයකින් පසුවයි චීන පාපන්දු සංගමය (CFA) මේ පියවර ගෙන තිබෙන්නේ.
පාපන්දු ක්‍රීඩා සමාජ 41කගේ මැදිහත් වීමෙන් තරග 120කදී මේ පාවා දීම සිදුවී ඇති බවට පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. මේ තරග සියල්ල ම පැවැත්වුනේ චීනයේ ම ද යන්න සඳහන් වී නැහැ.
හිටපු චීන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයන් තිදෙනෙකු වන Jin Jingdao, Guo Tianyu සහ Gu Chao හා දකුණු කොරියානු ක්‍රීඩක Son Jun-ho ජීවිතාන්තය දක්වා තරග තහනමට ලක්වූ ක්‍රීඩකයන් අතර සිටිනවා.
අල්ලස් ගැනීම, සූදුව හා නීතිවිරෝධීව කැසිනෝ විවෘත කිරීම යන සාපරාධී ක්‍රියාවන් සඳහා වන දඬුවම්වලට පුද්ගලයින් 44 දෙනෙකු මුහුණ දී සිටින බවත් පුද්ගලයන් 17 දෙනෙක් පගා ගැනීම හෝ දීම සහ තරග පාවාදීමට සහභාගි වී ඇති බවට සොයා ගෙන ඇති බවත් චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Zhang Xiaopeng ප්‍රකාශ කරනවා.
පුද්ගලයන් 44 දෙනාගෙන් 43 දෙනෙකුට පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සහභාගි වීම ජීවිතාන්තය දක්වා තහනම් කර තිබෙන බවත් තවත් 17 දෙනෙකුට වසර පහක තහනමක් පනවා ඇති බවත් CFA සභාපති Song Kai සඳහන් කරනවා.
චීන ජාතික පිරිමි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩාව දුර්වල වී තිබෙන අතර ඊට ප්‍රධාන හේතුව ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින දූෂණය බවට ක්‍රීඩා ලෝලීන් චෝදනා කරනවා.
අල්ලස් ගැනීම හේතුවෙන් චීනයේ ජාතික පාපන්දු සංගමයේ හිටපු උපසභාපතිවරයෙකු අගෝස්තු මාසයේදී වසර 11කට බන්ධනාගාරගත කෙරුනු අතර ඒ වරද ට ම අවුරුදු හතක සිරදඬුවමක් තරගාවලි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුට නියම වුනා.
පසුගිය මාර්තු මාසයේදී CFA හිටපු සභාපතිවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පනවනු ලැබුවා. SOURCE: VG (Journalist)
Social Plugin