අද දවස ජයසූරියගේ විය හැකියි
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දී උදෑසන පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව විසින් උඳුරා ගැනීමෙන් අනතුරුව ඇරඹි තරගයේ දී එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ ලකුණු 236 පහසුවෙන් පසු කර යනු ඇතැයි යන විශ්වාසය බොහෝ තැන්වලින් පළ වුණත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිය කාර්යභාරය නොපිරිහෙළා ඉටු කළහ.විශේෂයෙන් අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු එංගලන්තයේ නව ටෙස්ට් ආර වන ඉක්මණින් ලකුණු අතරට ඒමේ උත්සාහයට හරස් වෙමින් පන්දු යැවූ අතර ඊයේ දිනය නිමා වන විට එහි හොඳම ප්‍රතිපල අත් කර ගන්නට සමත් වී සිටියේ අසිත ප්‍රනාන්දු ය.අසිත ලකුණු 68 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.ප්‍රභාත් ජයසූරිය ලකුණු 58 ට කඩුලු 2 ක් දවා ගෙන සිටි අතර විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 ට එක් කඩුල්ලක් දවා ගෙන සිටියි.
ඊයේ දිනයට තරගය නවතන විට එංගලන්ත කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 259 ක් තුළ දැවී ගොස් තිබුණා.තවත් කඩුලු 4 ක් ඉතිරිව එංගලන්තය මේ වන විට තරගයේ ලකුණු 23 ක් පමණක් ඉදරියෙන් සිටිනවා.පසුපෙළ සමඟ තරගයේ ඉදිරි දුර යාමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ දී තරගය පාලනය කිරීමට පන්දු යැවීම අතින් ප්‍රභාත් ජයසූරිය වැඩි වැඩ කොටසක් කරනු ඇති බවට ඊයේ තරගය නිමා වන විට ඉඟි පළව තිබුණා. ප්‍රභාත් ජයසූරිය සිය දඟ පන්දුව වේග පන්දු තණතීරු මත තර්ජණාත්මකව හැසිරිවීම සඳහා උත්සාහ කරමින් සිටින අතර ඊයේ ඔහු සතුවු කඩුුලු දෙකම දඟ කැවීම ඉදිරියේ පිතිකරු මුලා කර කඩුල්ලේ දැවටුණු පන්දුවලින් හිමි වීම එම බලාපොරොත්තු ඇති කිරීමට හේතුවයි.
මේ සටහන සමඟ තිබෙන ඡායාරූප දෙකේම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී යාම දැක්වෙන ඡායාරූපවලින් පෙනෙන්නේ ජයසූරිය ඉදිරියේ හැරි බෘක් සහ ක්‍රිස් වෝකස් අසරණ වූ ආකාරයයි.
එංගලන්ත ඉණිමේ මේ දක්වා වැඩිම ලකුණුලාභියා වෙමින් අංක 6 පිතිකරු ජෙමී ස්මිත් නොදැවී ලකුණු 72 ක් ලබා ගෙන සිටියි.හැරී බෘක් ලකුණු 56 ක් ලබා ගැනීමට සමත් විය.එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් ලකුණු 42 ක් රැස් කළ අතර නායක ඔලී පෝප් හැරෙන්නට සෙසු ක්‍රීඩකයින් එංගලන්ත ඉණිමට ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයන්ගෙන් දායක වී සිටියේය.අංක හය පිතිකරු දක්වාම එංගලන්ත පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීම සියයට 70 ඉක්මවමින් රඳවා ගෙන ඇති අතර එහෙත් ඔවුන් ප්‍රහාරය හරහා ශ්‍රී ලංකාවට පීඩනයක් ඇති කරන්නට ගත් උත්සාහය සිතූ තරම් සාර්ථක කර ගන්නට නොහැකි වී ඇත.
දැනට පවතින තත්ත්වය මත වර්ෂාව විසින් තරගයේ තීරණයට බාධාවක් එල්ල නොකළහොත් මේ තරගය අනිවාර්යෙන්ම තීරණයක් සහිතව නිමා වනු ඇති බවට විශ්වාසය පළ කළ හැකි අතර එම තීරණය කණ්ඩායම් දෙකටම වීවෘතව තිබෙන එකක් බව පළමු දිනයේ තරගයේ හැසිරීම අධ්‍යයනය කිරීමේදී පැහැදිළි වෙනවා.
දැනට තරගයේ ලකුණු පූවරුව - https://es.pn/4dyNxNc
SOURCE: N.M.R (Journalist)
Social Plugin