වසර 17 ක් පරණ ඡායාරූපයකින් පාපන්දු ලෝලීන්ගේ හදවතට එල්ල කළ ගෝලයක්

ලයනල් මෙසී ලොව සුපිරිම පාපන්දු වීරයෙකි. ආර්ජෙන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය දිනා දීම වෙනුවෙන් ඔහු කළ කැපවීම සහ ඒ සඳහා දායක කළ හැකියාව නිසාම ගෙවුණු ලෝක කුසලානයේ සිය නායකත්වය මඟින් ආර්ජෙන්ටිනාවට ලෝක කුසලානය දිනා දෙන අතරේම තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ඇගයීමට ලක්විය.

මේ වන විටත් විශිෂ්ටයෙකුගේ සියලු ලක්ෂණ පහළ කරමින් සිටින ලැමිනි යමාල් මේ මොහොතටත් වඩා අනාගතයට විහිදුණු දක්ෂතා වලින් සුපෝෂිත පැහැබර අනාගත ලකුණකි. 17 හැවිරිදි ඔහු ස්පාඤ්ඤයට ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයාය. ජර්මනියේ දැනට පැවැත්වෙන යුරෝපීය ශූරතාවලියේ ලාබාලතම ක්‍රීඩකයා ද ලැමිනි ය.

ලැමිනි සහ මෙසී අතර අපූරු සබඳතාවයක් සම්බන්ධයෙන් ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු හරහා මේ වන විට වසංගතයක් සේ පැතිර යමින් ඇත. ඒ වසංගතය ප්‍රීතිමත් එකක් නිසා බොහෝ පාපන්දු ලෝලීන් එය හදවතට තෙරපා ගෙනම භුක්ති විඳින්නට නොපසුබට වන බව දැකගන්නට ඇත.

මෙසී 20 හැවිරිදි වියේදී පුන්‍ය කටයුත්තක් ලෙස සම්ප්‍රදායිකව බාසිලෝනා ක්‍රීඩකයින් යුනිසෙෆ් වැනි ආධාර මුදල් තර කිරීම සඳහා කුඩා දැරුවන් සහ පවුල් සමඟ ඡායාරූපවලට පෙනී සිටින අවස්ථාවේදී අත දරුවෙක් වන ලැමිනි සමඟ ද ඡායාරූප පෙළකට පෙනී සිටී ඇත. වසර 17 ට පසුව මෙසී සමඟ එම ඡායාරූපවල සිටින්නේ ලැමිනි බව දැනගත් විට පාපන්දු ලෝලීන්ට එය අමෘතමය අත්දැකීමක් වී ඇත. වයස 56 ක් වන නිදහස් ඡායාරූප ශිල්පියෙක් වන ජොආන් මොන්ෆෝර්ට් ද මේ සඳහා සිය කැමරාව හැසිරවීම සම්බන්ධයෙන් ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් සිටියි. ඒ ඔහු වෘත්තිමය ජීවිතයේ ලැබූ ඉහළම අවධානය සහ පිළිගැනීම හැටියට පිළිගන්නට තරම් ජොආන් මොන්ෆෝර්ට් නිහතමානීව ආඩම්බර වෙයි.

මෙසී මෙන්ම යමාල්ද බාසිලෝනාහි කීර්තිමත් ලා මැසියා යෞවන ඇකඩමිය නියෝජනය කර ඇති අතර ලැමිනි යමාල් එහි සිටියදී ගත් ඡායාරූපයක් ද අපට අන්තර්ජාලයෙන් හසු විය. ලෝකය පුරා පාපන්දු යනු උන්මාදයකි. එයට හදවත පතුලෙන්ම බැදුණු මිනිස්සු එමටය. මේ තත්ත්වය යටතේ ඉදිරියේදී මේ උන්මාදයට පත් පාපන්දු ලෝලීන් මෙසී වෙත පමණක් නොව ලැමිනි වෙතද සිය දරුවන් වඩා ගන්නට දිගු කිරීමේ ප්‍රවණතාවක් ආවොත් එය පුදුම වන්නට දෙයක් නොවනු ඇත. ඒ ලොව පුරා පාපන්දු උන්මාදය මිනිසුන් විසින් අදහස ආගමක් වන බැවිනි.


Author : NMR