කමිඳු මෙන්ඩිස් වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරයි


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 485ක් රැස් කළේය.

අද තරගයේදී වසර 40ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් කිරීමට සමත් විය.

ඔහුගේ මෙම අර්ධ ශතක ඉනිම වාර්තා අතරට එක්වූයේ, අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසය. 

කමිඳු ඉනිම් 22කදී මෙම වාර්තාව පිහිටු වූ අතර, ඔහු බිඳ දමනු ලැබුවේ රෝයි ඩයස් මීට වසර 40කට පමණ පෙර ඉනිම් 23කදී පිහිටුවා තිබූ වාර්තාවය.