ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට! දිනය තුළදී කඩුලු 14ක් බිඳ වැටෙයි!


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය නිමාවන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියා. 

දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ලිටන් දාස් ලකුණු 13ක් රැස්කරගෙන සිටි අතර, අද දිනයේ යැවූ අවසන් පන්දුවේ දී මෙහිඩි හසන් මිරාස්ගේ කඩුල්ල දවාගන්නට තරිඳු රත්නායකට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේදී නායක ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙක බැඟින් දවාගැනීමට සමත් වුණා.

තරගයේ තුන්වන දිනය වූ අද (27) දිනට තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ශ්‍රී ලංකා පළමු ඉනිමට තවත් ලකුණු 168ක් එක්වෙද්දී අනෙකුත් කඩුලු 08 බිඳ වැටුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අවසන් කළේ බංග්ලාදේශයට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමින්.

සිය දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංගලාදේශ කණ්ඩායම කඩුලු 4ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 96ක් පසුපසින් සිටිනවා.

අද දිනය තුළදී කණ්ඩායම් දෙකෙහිම කඩුලු 14ක් බිඳ වැටීම විශේෂත්වයකි.