රොනාල්ඩෝ ‘බයිසිකල් කික්’ දක්ෂතාවකින් මැරඩෝනාගේ වාර්තාව මකා දමයි

 


රොනාල්ඩෝ ‘බයිසිකල් කික්’ දක්ෂතාවකින්
මැරඩෝනාගේ වාර්තාව මකා දමයි


ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ‘බයිසිකල්’ පාපන්දු පහරකින් ගෝලයක් ලබා ගෙන ආජන්ටිනාවේ ඩිඒගෝ මැරඩෝනාගේ වාර්තාව අභිබවා ගොස් තිබෙනවා. ඒ, මැරඩෝනා ඔහුගේ මුළු ක්‍රීඩා දිවිය තුළ ආජන්ටිනාව වෙනුවෙන් ලබා ගත් ගෝල් ප්‍රමාණයට වඩා වැඩි ගෝල් සංඛ්‍යාවක් රොනාල්ඩෝ වයස අවුරුදු 35න් පසුව පෘතුගාලය වෙනුවෙන් ලබා ගනිමින්.

පෘතුගාල පාපන්දු නායකයා මේ සන්ධිස්ථානයට පිවිසියේ ඔහුගේ රට ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේදී ගෝල් 5-1කින් පෝලන්තය පරාජය කළ තරගයේ ගෝල් දෙකක් ලබා ගනිමින්.

මේ ගෝල් ද්විත්වය රොනාල්ඩෝ ඔහුගේ රට වෙනුවෙන් වාර්තා කළ 134 හා 135 වැනි ගෝල් ලෙස සටහන් වුනා.

කෙසේ වෙතත්, රොනාල්ඩෝ මේ ගෝල් ලබා ගැනීමත් සමග ඔහු නොදැනුවත්වම තවත් සුවිශේෂී වික්‍රමයක් සම්පූර්ණ කළා. 

එදා මෙදා තුර ආජන්ටිනාවේ හා පාපන්දුවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක් ලෙස පිළිගැනෙන මැරඩෝනා, 1977 සිට 1994 දක්වා කාලය තුළ ආජන්ටිනාව වෙනුවෙන් තරග 91කට ක්‍රීඩා කරමින් ලබා ගත්තේ ගෝල් 34ක්.

එළඹෙන පෙබරවාරියේ 40 වැනි වියට පා තබන රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් තරග 217කට ක්‍රීඩා කර තිබෙනවා.

එහෙත් ඔහු 35 වැනි වියට පිවිසීමෙන් පසුව ගෝල් 35ක් ලබා ගෙන සිටීම දෛවෝපගත සිදුවීමක්. 

විස්මය ජනක ලෙස මෙයින් පෙනී යන්නේ, 1986 ලෝක කුසලාන ජයග්‍රාහක මැරඩෝනා ඔහුගේ සමස්ත ක්‍රීඩා දිවිය පුරාම ලබා ගත් ජාත්‍යන්තර ගෝල් ප්‍රමාණය රොනාල්ඩෝ වයස 35න් පසුව පමණක් ලබා ගත් ගෝල් ප්‍රමාණයෙන් අභිබවා ගොස් තිබෙන බව.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ දැන් සෞදි අරාබියේ ක්‍රීඩා කරමින් සිටින්නේ ඔහුගේ ක්‍රීඩා දිවියේ සැඳෑ සමය බව සැබෑවක් වුව ද, ඔහු තවමත් ඔහුගේ රට වෙනුවෙන් ගෝල් ලබා ගනිමින් සිටින අතර ඒවා පහසුවෙන් පන්දුව‌ට සෙමෙන් පහර එල්ල කරමින් හෝ පෙනල්ටි මාර්ගයෙන් පමණක් හෝ ලබා ගන්නා ගෝල් නෙවෙයි.

පෝලන්තය ට එරෙහි තරගයේ සිය පළමු ගෝලය රොනාල්ඩෝ පෙනල්ටියකින් ලබා ගත්ත ද, තරගයේ සාමාන්‍ය කාල වේලාව අවසන් වීමට මිනිත්තු තුනක් තිබියදී ඔහු තමාගේ දෙවැනි ගෝලය වාර්තා කළේ දර්ශනීය ‘බයිසිකල්’ පහරකින්.

ඒ ගෝලයත් සමග රොනාල්ඩෝ තමා සතු සුපිරි දස්කම් තවමත් අවසන්ව නැති බවට පාපන්දු ලෝකයට ප්‍රබල පණිවුඩයක් දී තිබෙනවා.

SOURCE: VG (Journalist)