ආන්දෝලනාත්මක ඔලිම්පික් බොක්සිං ශූරී ඉමාන් කලීෆ් වෘත්තීය බොක්සිං තරග බිමට

 


ආන්දෝලනාත්මක ඔලිම්පික් බොක්සිං ශූරී ඉමාන් කලීෆ්
වෘත්තීය බොක්සිං තරග බිමට


පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයකට ලක්වූ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් (Imane Khelif) බොක්සිං ශූරිය වෘත්තීය බොක්සිං තරග බිමට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භක තරගයේදී ඇගේ ප්‍රතිවාදිනිය වූ ඇන්ජලා කරිනි එක පහරකට පමණක් මුහුණ දීමෙන් පසුව තත්පර 46ක් ඇතුළත තරගයෙන් ඉවත් වීමත් සමග කලිෆ් වෙත ලෝකයාගේ අවධානය යොමු වුනා. ඉන්පසුව ඇය තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු පරාජය කරමින් වෙල්ටවේට් අංශයෙන් ඇල්ජීරියාව වෙනුවෙන් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත්, 25 හැවිරිදි මේ ක්‍රීඩිකාවගේ සාර්ථකත්වය වසා ගෙන ඇගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් වාද විවාද හටගත්තේ ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA), ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද කියා පැහැදිලි කෙරෙන ලිංගිකත්වයේ පරීක්ෂණයෙන් කලිෆ් අසමත් වූ බව ප්‍රකාශ කරමින් ඇයව 2023 ලෝක ශූරතාවලියෙන් ඉවත් කර තිබූ බැවින්. 2022 ලෝක ශූරතාවලියේ ද කලිෆ්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධ පරීක්ෂණයෙන් ලැබුනේ පටහැනි ප්‍රතිඵල බව IBA ප්‍රකාශ කර තිබුනා.

කලිෆ් මීට කළින් පිරිමියෙක් බවත් ඇය දැන් සංක්‍රාන්ති ලිංගික හෝ අන්තර්ලිංගික ක්‍රීඩකයෙක් බවත් යන චෝදනා ඇතුළු නොයෙකුත් නිශ්චය කර නොගත් ප්‍රකාශයන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය තුළ පැතිර ගියා. මේ එක චෝදනාවක් හෝ ඔප්පු කළ හැකි සාක්ෂි නොතිබුනු අතර ඇයගේ ශරීරයේ පිරිමි හෝමෝන තිබෙන බවට IBA ඇඟවූව ද ඔවුන් කිසිම විටක එක එල්ලේ එම චෝදනාව කළේ නැහැ.

කෙසේ වෙතත්, තමන්ට එරෙහිව නැගෙන චෝදනා කිසිවක් සැලකිල්ලට නොගත් ඉමාන් කලි‌ෆ් අවසානයේ රන් පදක්කම දිනා ගත් අතර ඇය දැන් වෘත්තීය බොක්සිං ක්ෂේත්‍රයට පිවිසෙමින් ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

තමාගේ ක්‍රීඩා දිවිය පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් ද දැන් සකස් වෙමින් තිබෙන බව කලිෆ් අනාවරණය කළා.

“මම ළඟදීම වෘත්තීය බොක්සිං ලෝකයට ඇතුළු වනවා” යනුවෙන් ඇය කියා සිටියා. “මට නොයෙකුත් යෝජනා ලැබී තිබෙනවා. මම වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට පා තබන්නේ කොතැනින් ද කියා මම තවම තීරණය කර නැහැ.”

“නමුත් ඉතාම ඉක්මනින් මම මේ පියවර ගන්නවා. ඇල්ජීරියානුවන් වන අපි වෘත්තීමය බොක්සිං ක්‍රීඩාවේ අපේ මට්ටම මොකක්ද කියලා බලා ගන්න කැමතියි.”

ඇන්ටනී ජොෂුආ බොක්සිං ශූරයා ඇතුළු බොක්සිං තරු ගණනාවක් සමග කටයුතු කරන බ්‍රිතාන්‍ය බොක්සිං තරග ප්‍රවර්ධක එඩී හර්න් (Eddie Hearn), තමා කලිෆ් සමග ගිවිසුමක් අත්සන් කිරීමට විවෘත බව පසුගියදා කියා තිබුනා.

SOURCE: VG (Journalist)