ඉතාලි පාපන්දුව නියෝජනයට තුන්වැනි පරම්පරාවත්
ඉතාලියේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ තෙවැනි පරම්පරාව ලෙසින් ඩැනියල් මෙල්ඩීනී (Daniel Maldini) ඉතිහාසගතව සිටිනවා.
ජාත්‍යන්තර තරග බිමේ ඉතාලි ජාතික පාපන්දුව නියෝජනය කළ තම පවුලේ තුන්වැනි පරම්පරාව බවට මේ ක්‍රීඩකයා පත්වූයේ ඉතාලිය ගෝල් 4-1කින් ඊශ්‍රායලය පරාජය කළ UEFA Nations League තරගයේ.
විසිතුන් හැවිරිදි ඩැනියල් ඔහුගේ පියා වන පාඔලෝ හා සීයා වන චේසරේ අනුගමණය කරමින් ඉතාලිය නියෝජනය කළේ තරගයේ 74 වැනි මිනිත්තුවේදී පිටියට පිවිසෙමින්.
පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන AC Milan පාපන්දු සමාජයට ක්‍රීඩා කළ ඔහුගේ පියා ඉතාලි පාපන්දු තරග බිමේ ඉහළම ශූරතා හතක් සහ යුරෝපීය කුසලාන පහක් දිනා ගත් අතර ඔහු තම පුතා ක්‍රීඩා කරනු යූඩිනේ නුවර ක්‍රීඩා මණ්ඩපයේ සිට බලා සිටියා. පාඔලෝ මෙල්ඩීනී (Paolo Maldini) ඔහුගේ දීප්තිමත් ක්‍රීඩා දිවිය තුළ ඉතාලිය වෙනුවෙන් තරග 126කට ක්‍රීඩා කර තිබෙන්නේ එරට නියෝජනය කරමින් තෙවැනියට වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙමින්.
මේ අතර, චේසරේ මෙල්ඩීනී (Cesare Maldini), ඉතාලිය වෙනුවෙන් තරග 14කට සහභාගි වූ අතර ඔහුගේ අවසාන සහභාගිත්වය සිදුවුනේ මීට වසර 61කට පෙර.
සිවු වතාවක් ලෝක පාපන්දු ශූරයන් වූ ඉතාලිය වෙනුවෙන් පරම්පරා තුනක් ක්‍රීඩා කළ ප්‍රථම අවස්ථාවයි මේ.
ආරක්ෂක ක්‍රීඩකයෙකු වූ තම පියා මෙන් නොව මෙල්ඩීනී පවුලේ බාලයා වන ඩැනියල් ආක්‍රමණශීලී මැද පෙල ක්‍රීඩකයෙකු වන අතර ඔහු Serie A තරගාවලියේ ක්‍රීඩා කරන Monza කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්.
SOURCE: VG (Journalist)
Social Plugin