අර්ලිං හාලාන්ඩ්ගෙන් තවත් නව වාර්තාවක්

 


අර්ලිං හාලාන්ඩ්ගෙන් තවත් නව වාර්තාවක්

එංගලන්තයේ මැන්චෙස්ට සිටි ක්‍රීඩා සමාජයේ අර්ලිං හාලාන්ඩ් (Erling Haaland) පාපන්දු තරග බිමේ දිගින් දිගටම නව වාර්තා බිහි කරමින් සිටිනවා.

ප්‍රිමිය ලීග් තරග හතරකින් පමණක් ගෝල් නවයක් ලබා ගැනීම ඔහුගේ අලුත්ම වාර්තාව යි. මෙසේ අතිශය පලදායී ආරම්භයක් මෙවර ක්‍රීඩා වාරයට ලබා ගනිමින් හාලාන්ඩ් මකා දමා තිබෙන්නේ ගෝල් අටක් ලබා ගෙන වේන් රූනි (Wayne Rooney) තබා තිබූ වාර්තාව.

මේ නෝවේජියානු සුපිරි පාපන්දු තරුව මෙවර ක්‍රීඩා වාරයේ ප්‍රදර්ශනය කර තිබෙන දක්ෂතාව කොතරම් වැදගත් ද යත් ඔහු තනිවම ලබා ගෙන සිටින ගෝල් නවය ඔහු ක්‍රීඩා කරන මැන්චෙස්ට සිටි කණ්ඩායම හැරුනු විට අනෙක් ඔ්නෑම ප්‍රිමිය ලීග් කණ්ඩායමක් ඔවුන් අතර ලබා ගෙන සිටින ගෝල් සංඛ්‍යාවට වඩා වැඩියි. 

පිට පිට ප්‍රිමිය ලීග් තරග තුනකදී පෙර නොවූ විරූ පරිදි ‘හැට්-ට්‍රික්’ ගෝල් ලබා ගැනීමක් නොකඩවා වාර්තා කිරීම පසුගිය සෙනසුරාදා හාලාන්ඩ් ට මගහැරුනේ ගෝල් කණුවක පුළුල් ප්‍රමාණයකින් පමණයි.

එහිදී ඔහු බ්‍රෙන්ට්ෆෝඩ් කණ්ඩායමට එරෙහිව ගෝල් ද්විත්වයක් ලබා ගෙන මැන්චෙස්ට සිටි පිල ගෝල් 2-1ක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ තම කණ්ඩායම වෙනුවෙන් තරග 103කට පමණක් සහභාගි වෙමින් ලබා ගත් ගෝල් ප්‍රමාණය 99 දක්වා ඉහළ නංවමින්.


අර්ලිං හාලාන්ඩ් තරග 48කට පමණක් ක්‍රීඩා කරමින් වැඩිම වේගයෙන් ප්‍රිමිය ලීග් ගෝල් 50ක් වාර්තා කළ ක්‍රීඩකයා බවට දැනටමත් පත්ව සිටිනවා. මෙහි කළින් වාර්තාව පිහිටුවා තිබූ ඇන්ඩෲ කෝල් (Andrew Cole) ට ඒ සඳහා හාලාන්ඩ් ට වඩා තරග 17ක් වැඩියෙන් ක්‍රීඩා කිරීමට සිදුවුනා. 


මේ ක්‍රීඩා වාරයේදීත් ඔහු නැවත වරක් ලීගයේ වැඩිම ගෝල්ලාභියා වුවහොත් ඔහු 2006 වසරේ ටීඒරී ඔන්රී (Thierry Henry)ගෙන් පසුව පිට පිට රන් සපත්තුව - Golden Boot - සම්මාන තුනක් දිනා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වනවා.  SOURCE: VG (Journalist)