බර්ලින් මැරතන් තරගයෙන් නව ලෝක වාර්තාවක්

 

බර්ලින් මැරතන් තරගයෙන් නව ලෝක වාර්තාවක් 

පණස් වැනි වතාවටත් ජර්මනියේ පැවති බර්ලින් මැරතන් තරගය ධාවකයන් 54,280 දෙනෙක් අවසන් කර තිබෙන්නේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින්. 

පසුගිය අප්‍රේල් මාසයේ පැරිස් මැරතන් තරගය පුද්ගලයන් 54,175ක් විසින් අවසන් කරමින් ද, 2019 නිව්යෝක් මැරතන් තරගය පුද්ගලයින් 53,627 දෙනෙකු විසින් අවසන් කරමින් ද තබා තිබූ ලෝක වාර්තා 2024 බර්ලින් මැරතන් තරගය විසින් බිඳ දමා තිබෙනවා.

මෙවර බර්ලින් මැරතන් තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වාර්තා වූයේ ඉතියෝපියාවෙන්. ටිගිස්ට් කෙටීමා (Tigist Ketema) සහ මිල්කෙසා මෙන්ගේෂා (Milkesa Mengesha) පිළිවෙලින් කාන්තා හා පිරිමි ශූරතා හිමිකර ගත් අතර ඉතියෝපියාව ලොව ප්‍රධාන පෙලේ මැරතන් තරගයක පිරිමි හා කාන්තා ශූරතා දෙක ම මෙසේ දිනා ගෙන තිබෙන්නේ වසර තුනකට පසුව ප්‍රථම වතාවට.

26 හැවිරිදි කෙටීමා පැය 2යි මිනිත්තු 16යි තත්පර 42කින් කාන්තා ඉසව්ව ජය ගත්තේ මේ වසර තුළ ඇයට දෙවැනි මැරතන් ජයග්‍රහණයක් ලබා දෙමින්. ඇය 2024 වසර ආරම්භ කළේ ජනවාරියේ ඩුබායි හි පැවති ඇයගේ මංගල මැරතන් තරගය පැය 2යි මිනිත්තු 16යි තත්පර 07කින් අවසන් කරමින්. මෙය මෙතෙක් වාර්තා වූ වැඩිම වේගවත් මංගල මැරතන් තරගය.

බර්ලින් හි දී ඇය මිනිත්තු දෙකකට මඳක් වැඩි කාලයකින් ඉතියෝපියාවේ ම Mestawot Fikir අභිබවා ගියේ එම රට තරගයේ ඉහළම ස්ථාන හතර ලබා ගනිමින්.

24 හැවිරිදි මෙන්ගේෂා බර්ලින් මැරතන් පිරිමි තරගය ජයග්‍රහණය කළේ පැය 2යි මිනිත්තු 3යි තත්පර 17ක කාලයකින්. කාන්තා තරගයේ මෙන් නොව පිරිමි තරගය අවසාන සැතපුම දක්වා තරගකාරී මුහුණුවරකින් පැවති අතර ඔහු කෙන්යාවේ Cyprian Kotut යාන්තමින් පැරදවූයේ තත්පර පහකින්. මේ අනුව මෙය වසර 12ක් ඇතුළත පැවති ඉතාමත් තියුණු බර්ලින් මැරතන් තරගය බවට පත්වුනා.

බර්ලින් තරගයට පෙර මෙන්ගේෂාගේ ඉහළම ජයග්‍රහණය වී තිබුනේ 2023 ලෝක ශූරතාවලියේ මැරතන් තරගයේ 6 වැනි ස්ථානයට පත්වීම. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු මීටර් 5000 ඉසව්ව 10 වැනි ස්ථානයෙන් අවසන් කළා.

කෙසේ වෙතත්, 2024 බර්ලින් මැරතන් තරගය අවසන් කළ පුද්ගල සංඛ්‍යාවේ වාර්තාවට ළඟදීම තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබෙනවා. නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත නිව්යෝක් මැරතන් තරගයට අයදුම් පත් 165,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන අතර ධාවකයන් 50,000කට වැඩි ප්‍රමාණයක් තරගය ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඔක්තෝබර් 13 වැනි ඉරු දින පැවැත්වෙන චිකාගෝ මැරතන් තරගය ද ධාවකයන් 50,000කට වැඩියෙන් අපේක්ෂා කළ ද එම තරගය අවසන් කරන සමස්ත සංඛ්‍යාව සාමාන්‍යයෙන් නිව්යෝක් තරගයට වඩා අඩුයි.

SOURCE: VG (Journalist)