ඉන්දීය මැද පෙළ උඟුල්ලා දැමූ පතිරණ නොවන්නට පරාජය තවත් දරුණු වෙන්නට තිබුණා.

 


ඉන්දීය මැද පෙළ උඟුල්ලා දැමූ පතිරණ නොවන්නට පරාජය තවත් දරුණු වෙන්නට තිබුණා.

මතීශ පතිරණ ඉන්දියාවට එරෙහිව ලබා ගත් කඩුලු 4 ගොඩ නැගෙමින් තිබුණු ඉන්දීය ඉණිමේ මැද උගුල්ලා දැමීමක් නොවුණානම් ඉන්දීය ලකුණු පූවරුව 213 ද ඉක්මවා යන්නට තිබුණා.එහෙත් ඉන්දීය පිතිකරණ නාමාවලියේ මුල් අංක හතර ඔවුන් මුහුණ දී තිබූ පන්දු 96 දී එකතු කර තිබෙන ලකුණු ප්‍රමාණය 181 කි.

යසාස්වි ජයිස්වාල් 40 (21)

සුබ්මන් ගිල්          34 (16)

සූරියකුමාර් යදාව්   58 (26)

රිෂාබ් පාන්ට්          49 (33)

මේ තත්වයත් දුර්වලකම් තිබුණු ශ්‍රී ලංකාවේ පන්දු රැකීමත් නිසා ඉන්දියානු කණ්ඩායමට පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාවට අසීරු වන ලකුණු ඉලක්කයකට යන්නට හැකියාව ලැබීම ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට ලකුණු 43 ක ජයක් ලැබීමට හේතු වුණා.

එහෙත් මෑතකාලීන ඉන්දීය තරග ඉතිහාසය හා සළකා බලද්දී ශ්‍රී ලංකාව මේ තරගයේදී ඉන්දීය පන්දු යැවීමේ බල ඇණියට යම් තර්ජණයක් එල්ල කිරීම කැපී පෙණුනා.පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 214 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට ඉන්දියාවට හැකි වුණා.එය දැවන්ත ඉලක්කයක් වුවත්,පැතුමි නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් ලබා දුන් සුපිරි ආරම්භය නිසා එය ශ්‍රී ලංකාවට ජයගත හැකි ලකුණු පූවරුවක් බවට දිස් වුණා.

එහෙත් විස්සයි විස්ස තරග පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉණිමක් කළමණාකරණය කරන්නට ඇති අපහසුතාවය පැහැදිළි කරමින් මැද පෙළ කඩුලු 5 ක් පන්දු 14 ක් තුළ ශ්‍රී ලංකාව අහිමි කර ගනු ලැබුවා.එසේම ඒ මොහොත කියවා ගනිමින් කණ්ඩායම තේරිම සිඳු කර ඇතිද යන්නත් අවධානයට ගත යුතුව තිබුණා.එම කණ්ඩායම දෙස අවධානය යොමු කරද්දී ඩිල්ශාන් මධුශංක සහ කමිඳු මෙණ්ඩිස් වෙනුවට චමිඳු වික්‍රමසිංහ සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ රැඳෙන්නට තිබුණා.ඇතැම් විට චන්දිමාල්ගේ තැන අවිශ්ක ප්‍රනාන්දුට හිමි වුව ද,කමිඳුට වඩා සාර්ථක වන්නට තිබුණා.

එල්පීඑල් හී කණ්ඩායම්වල කණ්ඩායම තේරීමේදි යම් ප්‍රාදේශීය තත්ත්වයන් හා ඥාතීත්වයන් සළකා බැලුණ බවට එල්ල වූ චෝදනාවන් දකින්නට ලැබුණා.ඒ නිසාම යම් ආකාරයකින් දක්ෂම කණ්ඩායම තෝරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එහිදී අවස්ථාව ලැබුණේ ද යන ගැටළුවත් මතු වුණා.මන්ද ඒ අතර ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම නම් කිරීමේදී තේරිම් කමිටුව පැවත් වූ මාධ්‍ය හමුවේදී අවධානය යොමු කළ නම් ද එල්පීඑල් තුළ තරග නරඹන්නන් කර තිබෙන අයුරු දකින්නට ලැබුණා.

ඒ අනුව බලද්දී තෝරා ගත් සංචිතය තුළ වඩාත් සුදුසු කණ්ඩායම ක්‍රීඩා කළා ද යන්න පිළිබඳව ගැටළුවක් මතු වෙනවා.එල්පීඑල් ජයග්‍රහණයට පාදක වූ ජැෆ්නා කණ්ඩායමේ ද ආරම්භය සටහන් කළ පැතුම් සහ කුසල් ඉතා හොඳ ආරම්භයක් ලබා ගනිමින් පන්දු ඕවර් 8.4 ක් තුළ ලකුණු 84 ක් එකතු කරන්නට සමත් වුණා.කුසල් පන්දු 27 දී ලකුණු 45 ක් රැස් කර ගත් අතර පැතුම් සුවිශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 48 දී ලකුණු 79 ක් රැස් කරන්නට සමත් වුණා.ඔවුන් දෙදෙනා හැරෙන්නට ශ්‍රී ලංකා ලකුණු පූවරුව සළකා බලද්දී පළමු අංක හතර ඉදිරියේ ඉලක්කම් දෙකේ ලකුණු දකින්නට ලැබුණා.කුසල් ජනිත් ලකුණු 20 සහ කමිඳු මෙණ්ඩිස් ලකුණු 12 හැරුණු විට ඉන් පස්සට පැමිණි කිසිඳු පිතිකරුවෙක් තමන්ගේ නම ඉදිරියේ ඉලක්කම් දෙකේ ලකුණු සටහන් කර නොගැනීම විශාල අඩුවක් ලෙස පෙණුනා.ඒ අතර දසුන් ශානක දෙවන ලකුණ වේගයෙන් දිව නොගොස් තෙවන ලකුණ ගැන සිතීමේ වරදට දුවද්දී දැවී ගියේ ලකුණු නොලබා වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැඩය බලන විට පරාජය යම් ආකාරයකින් සහතික බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා.

කළකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුව ශාරිරික යෝග්‍යතාවය ගැන ප්‍රමුඛතාවය දෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ මතයේම පිහිටා සිටියා.එහෙත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙන්ම ඔවුන්ගේ මතය සිය වලිගවලට ගින්දර කොට ලබා ගත් සමාජ මාධ්‍ය ප්‍රෙක්ෂකයින්ද තැන තැන ගිණි තබා එය හකුලා දමන්නට සමත් වුණා.ඒ ජ්‍යෙෂ්ඨයන් අතර සිටි සනත් ජයසූරිය අද කණ්ඩායමේ පුහුණුකරු වෙමින් කල්පනා කරන්නේ,අහිමිව ගිය ඒ ශාරිරික යෝග්‍යතාවය වෙනුවට සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය රාවයන්ට අනුව කොණ්ඩය සහ කරාඹු ඉවත් කිරීමනම් ශ්‍රී ලංකා කණ්ඩායම එයින් වෙනස් කළ නොහැකි බව පැහැදිළි වුණා.විශේෂයෙන් කුසල් සහ පැතුම් කඩුලු අතර දිව ගිය වේගය සහ ලබා ගත් කෙටි ලකුණු එක දිගට වෙහෙසකින් තොරව අන් ක්‍රීඩකයින්ට ලබා ගත හැකිද යන්න නැවත කල්පනාවට ගත යුතුව තිබෙනවා.ක්‍රිඩකයින් සකස් කිරීමට ඔවුන්ව පුහුණු කිරීමට පත් කරන පුද්ගලයාටත්,තේරීම් සඳහා එන නිර්නායකයින්ට අවශ්‍යය විදිහට පහසුකම් සහ අනුමැතිය දීමත් යන පරිපාලන කාරණා මිස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පුහුණු කළ යුතු ආකාරය සහ තේරීම සම්බන්ධයෙන් උපදෙස් දෙන සහ සැළසුම් සකස් කර ඒ වෘත්තියමය වගකීම්වල ස්වාධීනත්වයට බාධා කළ හැකි සංස්ථාවක් නොවන බව තේරුම් ගන්නා තුරුම මේ කාරණා සම්බන්ධයෙන් ඉලක්ක වෙන්නේ වැරදි තැන්ය.

ඉන්දියාව ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ චරිත අඩුවෙන් යොදා ගත්ත ද මේ කණ්ඩායම ඉන්දීය ජාතික කණ්ඩායම කියන්නට කිසිවක් අඩු නැති බව තේරුම් ගත යුතුයි.ඒ.ඒ තරම් ප්‍රබලයන් පිරිසක් ඉන්දියාව සතුව ඕනෑම මොහොතක ජාතික කණ්ඩායම සදහා ඇතුළත් කර ගැනීමට හැකි මට්ටමට සිටින නිසයි.ශ්‍රී ලංකා ක්‍රිකට් පුද්ගල නාම ඉලක්ක කර නොගෙන එවැනි දක්ෂයන් නඩත්තු කිරීමට සහ හඳුනා ගැනීමට ගෙන ඇති පියවර තව තවත් සූක්ෂම සහ පිළිවෙළකට ගෙන ආ යුතුයි.

 ඉන්දීය සංචිතයේ ප්‍රබලකමට සාධකයක් ලෙස ලෝක කුසලානය ජයගත් කණ්ඩායමේ මුල් පෙළින් පන්දුවට පහරදුන් අක්ෂාර් පටෙල් අංක 8 ට දමා ඉදිරියට වෙනත් පිතිකරුවන් ගත හැකි තරමට ඉන්දීය සංචිතය දියුණු මට්ටමක සිටින බව ද පැහැදිළියි.ඒ නිසා නොදකින නම් වෙනුවට මේ ඉදිරි තරගාවලි වෙනුවෙන් සකසන විස්සයි විස්ස සංචිතය ලෙස දකින්නට අප කල්පනා කළ යුතුයි.මේ වන විටත් විවිධ තරගාවලි හරහා අත්දැකීම් ලබා දෙමින් මේ ක්‍රීඩකයින් පැසුණු මට්ටමක පසුවන අතර ශ්‍රී ලංකාවේ එවැනි නඩත්තුවක් සහ අවස්ථාවක් තිබේද යන්න ගැන කල්පනා කළ යුතුව ඇත.ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසාලනය දිනා ගත් මොහොතේ එම තරගාවලියට නිත්‍ය නායකයා ලෙස පත් කර ක්‍රීඩකයා වන දිනේධ් චන්දිමාල් අප එල්පීඑල් තරගාවලියෙන්   සොයා ගත් ක්‍රිඩකයා වන්නේනම්,එය තේරුම් කමිටුවේ හෝ චන්දිමාල්ගේ අවුලක් නොවන සමස්ත ක්‍රිකට් හී යම් බිඳ වැටීමක් තිබෙන බව තේරුම් ගත යුතුව තිබෙනවා.එය පාසල් ක්‍රිකට් මට්ටමේ සිට ක්‍රීඩකයින් නිර්මාණය කරන ආකාරයට වගේම,ක්‍රිඩාව ජනප්‍රිය වීම සමඟ ඊට පිවිසෙන පිරිසට නිශ්චිත දැක්මක් ඇතුව පාසල් පුහුණුකරුවන්ගේ සිට ශික්ෂණයකින් යුතුව ගොඩ නැඟීමක් ඇතුළත් කළ යුතුව තිබෙනවා.ආකල්පමය වශයෙන් පෝෂණයත්,සමහර විට ආහාර රටාව ආදියත් පිළිබදව නිශ්චිත වූ වැඩ සටහනක් අවශ්‍යයව තිබෙන බව පාසල් ක්‍රීඩකයින්ගේ පුහුණු සැසි සහ තරග නරඹන විට සමහර දෙමව්පියන් සිය දරුවන්ව පිනවීම සඳහා ගිල්වන ආහාර දුටු විට හිතට නැඟෙන දෙයක්.

ඊ ළඟ තරගය වන විට මේ සියල්ල වෙනස් කර අලුතින් ක්‍රීඩකයින් සොයා ඇතුළත් කර මේ තරගාවලියේ මහා වෙනස්කමක් නොකළාට,ශ්‍රී ලංකාවේ නම් කර සිටින සංචිතයෙන් වඩාත් සුදුසු,ඒ මොහොතට අදාළ ක්‍රීඩකයින් නම් කර හොඳ උත්සාහයක් සහ ජයග්‍රහණයක් ලැබිය හැකියි.එම මොහොත සකසා ගැනීමේදී දීර්ඝකාලයක් දැන හඳුනන විශ්වාසය මත යන්නට වඩා “මේ මොහොත” යන්න නැවත නැවත අවධානයට ගැනීම චරිත් අසලංකගේ නායකත්වයට වැදගත් වනු ඇත.

ඩිල්ෂාන් මධුශංක යම් කිසි ආකාරයකින් රිද්මය නඩත්තු නොකළ තත්ත්වයක සිටින බව පෙනෙන්නට තිබෙන අතර ඉතා ඉක්මණින් ලොව වැඩිම අවධානයක් දිනා ගත් විස්සයි විස්ස පන්දු යවන්නෙකු වීම සහ එම කිරුළ ලිහී බිම වැටෙන්නට ඇරීම අතර කාලය තුළ ඔහු ද ප්‍රකට කර ඇත්තේ එල්පීඑල් තරගාවලියේ දී විනය චෝදනාවකට දඩ මුදලක් පමණයි.

පැමිණෙන දක්ෂයන් එම දක්ෂතාවය වෙනුවට ටික කලකදී චෝදනාවන්ට ගොඳුරු වෙන මට්ටම දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට වඩා හොඳින් කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයන් තමන්ගේ යටතට පොකුරු පිටින් ගොඩ ගසා ගන්නා ක්‍රීඩක කළමණාකරුවන් ද අවධානය යොමු කළ යුතු වැඩක් ලෙස සැළකිය හැකි අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔවුන්ගේ සුදුසුකම් කවරාකාරයක් ගත යුතුද යන්න මෙන්ම කළමණාකරුවන් අධිකෂණය වෙන වෙනම ඒකකයක් ද නිර්මාණය කිරීමට අවධානය යොමු වී තිබෙන බව අසන්නට ලැබීම වැදගත්.

නිමාව දුට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න→ https://es.pn/3SOAFdR