විශ්මි යළිත් ක්‍රිකට් විශ්වයට සිය දක්ෂතා සනාත කරයි



 විශ්මි ගුණරත්න සහ හර්ෂිතා මාධවී එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 54 ක සබඳතාවය නිසා පන්දු ඕවර් 17.1 දී බංගලාදේශ කණ්ඩායම ලැබූ ලකුණු 111  පසුකර කඩුලු 3 ට ලකුණු 114 ක් බවට ලකුණු පූවරුව පත් කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.මේ අතරින් පන්දු 48 න් ලකුණු 51 ක් රැස් කළ විශ්මි ගුණරත්න චමරි අතපත්තු සමඟ පළමු කඩුල්ලට ලකුණු 36 ක සබඳතාවයක් ගොඩ නඟන්නට සමත් වුණා.මේ සියල්ල අතරේ බංගලාදේශය රැස් කළ ලකුණු 111 ආරක්ෂා කරන්නට හුදෙකලා සංග්‍රාමයක යෙදුණ නිහිදා අක්තාර් සිය පන්දු ඕවර් 4 ලකුණ 12 ට නිම කරමින් ශ්‍රී ලංකාවට අහිමි වූ කඩුලු තුනේම හිමිකාරිය බවට පත් වුණා.

කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉදිරියේ නොසැලී සිටින්නට සමත් වුණේ පන්දු කණ්ඩායම් නායිකා නිගාර් සුල්තානා පමණයි.ඇය පන්දු 59 දී නොදැවී ලකුණු 48 ක් ලබා ගන්නට සමත් වුණා.ඇය ගොඩ නඟන්නට උත්සාහ කළ ඉණිම වෙනුවෙන් සහය ලැබුණේ රබීයා ඛාන් (10) සහ ශොර්නා අක්තාර් (25) වෙතින් පමණයි.සෙසු සියළුම පිතිකාරිණියන්ගේ ලකුණු තනි ඉලක්කමේ ලකුණු වූ අතර පන්දු ඕවර් 20 නිමාවේ බංගලාදේශ ඉණිම කඩුලු 8 ට ලකුණු 111 ක් ලෙස සටහන් වුණා.

මේ තරගාවලියේ මේ දක්වා දුටු අලංකාරම සහ විශ්මය දනවන උඩ පන්දුව රැක ගත් ඉනෝෂි ප්‍රනාන්දු එයින් රිටූ මෝනි දවා ගනිමින්,පන්දු ඕවර් 4 ලකුණු 17 ට කඩුලු දෙකක් දවා ගනිමින් නිමා කරන්නට සමත් වුණා.උදේශිකා ප්‍රබෝධනී ලකුණු 29 ට කඩුුලු 2 ක් දවා ගත් අතර චමරි අතපත්තු,කවීශා දිල්හාරි සහ සුගන්ධිකා කුමාරි එක් කඩුල්ල බැඟින් බෙදා ගනු ලැබුවා.එහෙත් මෑත කාලයේ දී කඩුලු අතර සිටින තුන් ඉරියව් ක්‍රීඩිකා කවීහා ඉදිරියේ ප්‍රතිවාදි පිතිකාරිණියන් යම් කිසි ආකාරයකින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා ආකාරයක් දැකිය හැකි අතර එය ප්‍රවේශමෙන් අධ්‍ය්‍යනය කර නිවැරදි කර ගත යුතු තත්ත්වයක් වෙනවා.මන්ද ඇය ශ්‍රී ලංකාව සතුව දැනට සිටින මතු බලාපෙරොත්තු සහිත හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවයි.


- NMR