ලක්මාතාව සැරසූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයයි – සෆියාගේ නිලයත් උසස් කෙරේ


2025 ඔක්තෝබර් මස 24 සිට 27 දක්වා ඉන්දියාවේ රංචි නුවර පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුද්ධ හමුදා ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වූ අතර, ඔවුන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රශංසාව ලැබුණි.

මෙම ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 59 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ගෙන් යුද්ධ හමුදාව නියෝජනය කළේ ක්‍රීඩකයින් 30 දෙනෙකි.

එම ක්‍රීඩකයින් හා ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක්, සහ බ්‍රෝන්ස් (ලෝකඩ) පදක්කම් 7 ක් දිනා, සමස්තයෙන් පදක්කම් 27 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් විය.

ඔවුන්ගේ මෙම විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණය පිළිබඳව, 2025 ඔක්තෝබර් මස 30 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති විශේෂ අවස්ථාවකදී, යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් හමුවී සුභ පැතුම් එක්කර මිලියන 6කට අධික විශේෂ මූල්‍ය පරිත්‍යාගයක්ද පිරිනමන ලදී.

එසේම, තරගාවලියේදී පදක්කම් දිනා ශ්‍රී ලංකාවට නාමය උසස් කළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් 18 දෙනෙකුට ඔවුන්ගේ ඊළඟ නිලය සඳහා උසස්වීම් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.